Mouth Cancer- මුඛ පිළිකා

මුඛයේ ඇති වන පිළිකා දකුණු ආසියාතික රටවල අන් රටවලට වඩා බහුලව දක්‌නට ලැබෙන පිළිකා ප්‍රභේදයකි. මීට ප්‍රධාන හේතුවක්‌ වන්නේ බුලත් විටිවල අඩංගු පිළිකාකාරක ය. මුඛ පිළිකාවලට අදාළ අනෙකුත් හේතූන් ලෙස දුම් පානය, අධික ලෙස මත්පැන් භාවිතය, HPV වයිරස ආසාදනය, දැක්‌විය හැකි වේ.

මුඛ පිළිකා ‘ශීර්ෂ සහ ගෙළ’ ගණයට අයත් පිළිකා වර්ගයකි. ශීර්ෂ හා ගෙළ ආශ්‍රිත පිළිකා වර්ග කිහිපයක්‌ ඇත. අනෙකුත් පිළිකා වර්ග (උදා: ඛේට ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා) දක්‌නට ලැබෙනුයේ අඩු සම්භාවිතාවකින් වන අතර ඊට අදාළ ප්‍රතිකාර ක්‍රම ද වෙනස්‌ වේ.
Oral Cancer - Mouth Cancer- මුඛ පිළිකා
මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ මුඛයේ ඇති වන පිළිකා පිළිබදව පමණි.

මුඛයේ ඇති වන පිළිකා සුව නො වන තුවාලයක්‌ ලෙස හෝ බෙල්ල ප්‍රදේශයේ මතු වන කුද්දටි ලෙස හෝ මුලින් ඉස්‌මතු විය හැකි ය. මෙසේ සැකයට තුඩු දෙන ස්‌ථානයක්‌ සෛල පටක පරීක්‌ෂාවක්‌ මගින් තහවුරු කරගත යුතු වේ. එලෙස තහවුරු කරගත් පසු කැමරා පරීක්‌ෂණයක්‌ මගින් සහ CT Scan පරීක්‌ෂණයක්‌ මගින් රෝගය ව්‍යාප්ත වී ඇති ප්‍රමාණය පිළිබද තක්‌සේරු කිරීමක්‌ සිදු වේ.

මෙලෙස රෝගයේ ව්‍යාප්තිය පිළිබද ඇගයීමකින් පසුව එය ශල්‍යකර්මයක්‌ මගින් ඉවත් කළ හැකි ද යන්න ශල්‍ය වෛද්‍යවරයකු විසින් තීරණය කරනු ලැබිය යුතු ය. ඇතැම් විට ව්‍යාප්ත වී නො තිබුණ ද පිළිකාව ඇති ස්‌ථානය හේතු කොටගෙන ශල්‍යකර්මයකට භාජන කළ නොහැකි වේ.

ශල්‍යකර්මයකට භාජන කළ හැකි නම් එසේ කිරීමෙන් පසුව රසායනික චිකිත්සාව සහ විකිරණ චිකිත්සාව ලබා දීම මගින් පිළිකාව නැවත ඇති වීමේ අවදානම අඩු කරගත හැකි ය.

විකිරණ චිකිත්සාව දිනපතා, සති 5ක පමණ කාලයක්‌ කරනු ලබන අතර රෝගියා ගේ ශාරීරික යෝග්‍යතාව අනුව සති 3කට වරක්‌ හෝ සතිපතා හෝ රසායනික චිකිත්සාව ලබා දිය හැකි වේ. රෝගියා දුර්වල නම් විකිරණ චිකිත්සාව පමණක්‌ ලබා දීම ද ඇතැම් විට සිදු කෙරේ.

ඉහත සදහන් ආකාරයට ඇතැම් විට පිළිකාව ව්‍යාප්ත වී නො තිබුණ ද ශල්‍යකර්මයකට භාජන කළ නොහැකි අවස්‌ථාවල දී ද රසායනික චිකිත්සාව සහ විකිරණ චිකිත්සාව එකවර ලබා දීම මඟින් පිළිකාවට ප්‍රතිකාර කළ හැකි ය.

මුඛ පිළිකාවලට ප්‍රතිකාර කිරීමේ දී Cisplatin, Carboplatin වැනි Chemotherapy වර්ග මෙන්ම Cetuximab වැනි ජෛවීය කාරක (Biological agents) ද භාවිත කළ හැකි වේ. 

මෙසේ ප්‍රතිකාර කිරීමෙන් පසුව මාස කිහිපයකට වතාවක්‌ කරනු ලබන CT Scan පරීක්‌ෂණයක්‌ මගින් රෝගියා පරීක්‌ෂා කළ යුතු වේ. මීට අමතරව කැමරා පරීක්‌ෂණයක්‌ මගින් පිළිකාව තිබුණා වූ ප්‍රදේශය පරීක්‌ෂා කිරීම ද සිදු කරනු ලැබේ.

ව්‍යාප්ත වූ පිළිකාවක්‌ සුව කළ නොහැකි නමුත් රසායනික චිකිත්සාව මගින් යම් කාලයක්‌ පාලනය කළ හැකි වේ. කණගාටුවට කරුණක්‌ වනුයේ ව්‍යාප්ත වූ පිළිකාවක්‌ පූර්ණකාලීනව පාලනය කිරීමට අපහසු වීමයි.

මුඛ පිළිකාවලට ප්‍රතිකාර කිරීමේ දී ප්‍රතිකාරවල අතුරු ආබාධ රාශියක්‌ ඇති වේ. විශේෂයෙන් විකිරණ චිකිත්සාව යොදාගන්නා විට දත්වලට වන හානිය හේතු කොට ප්‍රතිකාරයට පෙර රෝගියා පරීක්‌ෂා කර අදාළ ප්‍රතිකර්ම යෙදිය යුතු වේ.

ප්‍රතිකාර හේතු කොටගෙන මුඛය තුළ තුවාල ඇති වීම, දිලීර රෝග ඇති වීම මෙන්ම වේදනාව හේතු කොටගෙන ආහාර ගැනීම අපහසු වීම සිදු විය හැකි ය. පෝෂණවේදීන් (Dietecian) මෙන්ම කථන චිකිත්සක (Speech therapist) වැනි සහායක සේවාවල උපකාර තිබීම ප්‍රතිකාර අඛණ්‌ඩව පවත්වාගැනීමට වැදගත් ය.

ප්‍රබල වේදනානාශක (Opioid ගණයට අයත් වේදනානාශක) ප්‍රතිකාර හේතු කොටගෙන ඇති වන අතුරු ආබාධ පාලනය කිරීමට වැදගත් වේ.

ප්‍රතිකාර කරනු ලබන කාල පරාසය තුළ රෝගියා ගේ ශරීර බර ප්‍රමාණය එක මට්‌ටමේ පවත්වාගැනීම ප්‍රතිකාර අඛණ්‌ඩව කිරීමට වැදගත් වේ. බර අඩු වී යන්නේ නම් කෘත්‍රිමව ආහාර ලබා දීමට සිදු වේ.

ව්‍යාප්ත වූ පිළිකාවක්‌ පාලනය කිරීමට ප්‍රතිශක්‌ති චිකිත්සාව (Immunotheraphy) භාවිත කළ හැකි බවට මෑත කාලයේ කරුණු සනාථ වී ඇත. Immunotheraphy මගින් පාලනය කළ හැකි වනුයේ 20%ක පමණ ප්‍රමාණයක්‌ නමුත් එලෙස පාලනය වන පිළිකා සාපේක්‌ෂව දිගු කාලයක්‌ එලෙස පාලනය වී පැවතීම මෑත කාලයේ ලද ජයග්‍රහණයකි.

Immunotheraphyවල මිල අධිකභාවය හේතු කොටගෙන දැනට එම ඖෂධ භාවිතය සීමා වී පවතියි. අවසාන වශයෙන් පැවසිය හැකි වනුයේ දුම් පානය නතර කිරීම සහ බුලත් විට භාවිතය නතර කිරීම මගින් මුඛ පිළිකා ඇති වීම අවම කරගත හැකි බවයි. 

පින්තුර බැලීමට click  කරන්න 

 

 

 

උපුටා ගැනීම විදුසර 

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: