එංගලන්තය සහ නවසීලන්තය අද ලෝක කුසලානයට සටන් වදී

සති හයක් පුරා තරඟ 47 කින් අනතුරුව මෙවර අයි.සී.සී. ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා මෙතෙක් ශූරතාව ජයග්‍රහණය නොකළ එංගලන්තය සහ නවසීලන්තය ලන්ඩනයේ ලෝඞ්ස් ක්‍රීඩාංගනයේදී අද තරඟ වදිනවා.
තරඟාවලිය පුරා එංගලන්තය පිතිහරඹයෙන් සහ නවසීලන්තය වේග පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ අතර, නවසීලන්තය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ කෝටි 137 ක් වූ ඉන්දියානුවන්ගේ අපේක්ෂාවෙන් සුන් කරමින්.
එංගලන්තය අවසන් වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 28 කට පෙර එනම් 1992 වසරේදියි.
නවසීලන්තය සමඟ පැවති අවසන් එක්දින ජාත්‍යන්තර තරග 9 න් 7 ක්ම එංගලන්තය ජයග්‍රහණය කළ අතර, පසුගිය පෙබරවාරියේ නවසීලන්ත චාරිකාවේදී එංගලන්තය එක්දින තරගාවලිය ජයග්‍රහණය කළේ තුනට දෙකක් ලෙසින්.
කෙසේ නමුත්  ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ අවසන් වරට පැවති තරග දෙකෙන්ම එංගලන්තය පරදවා ජය ලැබීමට නවසීලන්තය සමත්වී තිබෙනවා.
පසුගිය ලෝක කුසලාන අවසන් මහා තරග 11 න් 7 ක්ම ජයගෙන ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායමයි.
කෙසේ නමුත් 2011 වසරේ මුම්බායි හිදී ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ලද ජයග්‍රහණය සහ 2015 වසරේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී නවසීලන්තය පරදවා  ඕස්ට්‍රේලියාව ලද ජයග්‍රහණයද වාර්තාවූයේ දෙවනුව පන්දුවට පහරදී ඉලක්කය හඹා යාමෙන්.
අද පැවැත්වෙන අයි.සී.සී. ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පිටියේ ප්‍රධාන විනිසුරුවෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කරන අතර, තරගයේ ප්‍රධාන තීරකයා වන්නේ අයි.සී.සී. ප්‍රධාන තීරක ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ලයි.