ඔබ නොදත් අයිස්ක්‍රීම් වල කතන්දරේ (Story of Ice-cream)

අයිස්ක්‍රීම් කතන්දරේ

අයිස්ක්‍රීම් වල කතන්දරය ඈත අතීතයටම දිව යන්නක්. ඒ මී පැණි, මල් පැණි, පලතුරු පල්ප, මිදුණු හිම ආදිය එකට එක් කොට රසවත් ආහාරයක් තැනු රෝමය දෙසටයි.

මෙය මුලින්ම හදලා තියෙන්නේ නීරෝ නමැති පුරාණ රෝම අධිරාජයා විසිනි. මේවා සෑදීමට හිම රැගෙන ඒමට ඔහු තම වහල් සේවකයන්ව ඉතා ඈත උස් කඳුකර ප්‍රදේශ වලට යැවූ බවටද අපට තොරතුරු හමු වෙනවා.ඒ කෙසේ වෙතත් මේ ලෝකේ ගොඩක් දේවල් වලට වගේම අයිස්ක්‍රීම් විධිමත් ලෙස නිපදවීමේ ගෞරවයද හිමිවන්නේ චීන ජාතිකයන්ටයි.

ඔවුන් අද අපි කන අයිස්ක්‍රීම් වල රසටම සමාන රසක් තියෙන අයිස්ක්‍රීම් හදලා තියෙන්නේ අයිස් සහ හිම, කිරි සමඟ මිශ්‍ර කිරීමෙනි. මේ රහස යුරෝපයට ලැබුණේ ඊට ශතවර්ෂ ගණනාවකට පසුවයි.

අයිස්ක්‍රීම් ගැන එක එක පුරාතන කතා තිබුණත් ඒ අතරින් වඩාත් පිළිගන්නා ජනප්‍රියම කතාව වර්ෂ 1200දී ඉතාලියේ සිට චීනයට සංචාරය කළ දේශ ගවේෂක මාර්කෝ පෝලෝගේ කතාවයි.

ඒ නිසා අයිස්ක්‍රීම් වල රහස යුරෝපයට ගෙන ගියේ ඔහු යැයි කීම වඩාත් නිවැරදියි.මෙලෙස යුරෝපයෙන් එංගලන්තයටද පැතිරුණු අයිස්ක්‍රීම් එංගලන්ත රජසභාවේද භාවිත වූ බවට තොරතුරු හමු වෙනවා.

ටික දිනකින්ම අයිස්ක්‍රීම් එංගලන්තයෙන් ඇමරිකාවටද පැතිරිලා තියෙනවා. ඇමරිකානුවෝ එදා ඉදන්ම අයිස්ක්‍රීම් කන්න පුදුම කැමැත්තකින් හිටියේ. යටත් විජිත සමයේ ඉඳන්ම ඇමරිකානුවෝ එයාලගේ සාද වලට අයිස්ක්‍රීම් පාවිච්චි කළ බවට තොරතුරු රැසක් හමු වෙනවා.

ඇමරිකාවේ පළමු ජනපති ජෝර්ජ් වොෂින්ටන් මෙන්ම තෙවැනි ජනපති තෝමස් ජෙෆර්සන් ද අයිස්ක්‍රීම් වලට දැඩිව කැමැත්තෙන් පසු වී ඇත. තෝමස් ජෙෆර්සන් ප්‍රංශයට ගිය වෙලාවක අයිස්ක්‍රීම් රස වැටිලා එකේ වට්ටෝරුව තමන්ගේ අතින්ම ලියාගෙන ඇවිත් තමන්ගේ ළඟම තියාගෙන ඉදලා තිබුණා කියලා කතා වල සඳහන් වෙනවා.

වර්ෂ 1800 පමණ වෙනකන්ම අයිස්ක්‍රීම් අතින්ම හැදුවා කියල පුරානකතා වල සඳහන් වෙනවා.

ඒ ක්‍රමය ඉතා වෙහෙසකර බව වටහා ගත් නැන්සි ජොන්සන් නමැති කාන්තාව වර්ෂ 1843දී පමණ අතින් කරකවා අයිස්ක්‍රීම් හදන්න යන්ත්‍රයක් නිපදවලා තියෙනවා. ඒ යන්ත්‍රයට පේටන්ට් බලපත්‍රයක්ද ලබාගෙන තිබුණා කියලා සඳහන් වෙනවා.

වර්ෂ 1851දී ජාකොබ් ෆුසෙල් නැමැත්තා ලොව පළමු අයිස්ක්‍රීම් කම්හල ආරම්භ කරලා තියෙනවා. එකෙන් පස්සේ තමයි ව්‍යාපාරයක් ලෙස මේ අයිස්ක්‍රීම් කර්මාන්තය දියුණු උනේ කියලත් සඳහන් වෙනවා. ඉන්පසු ලොවපුරා ඉන්න අපි වගේ අයිස්ක්‍රීම් පාරිභෝගිකයන්ට විවිධ රස වලින් විවිධ අයිස්ක්‍රීම් වර්ග නිපදවන්න පටන් අරන් තියෙනවා.

 

ඒ වගේ අයිස්ක්‍රීම් වර්ග කීපයක් තමයි පහත ලැයිස්තුගත කරලා තියෙන්නේ.

1. අයිස් පලම – Popsicle
2. අයිස්ක්‍රීම් කෝන් – ice cream cone
3. අයිස්ක්‍රීම් සන්ඩේ – sundae
4. එස්කිමෝ පයි – Eskimo pie

එක එක රට වල විවිධ වර්ගයේ අයිස්ක්‍රීම් විවිධ නම් වලින් හැඳින්වෙනවා.

 

*අයිස්ක්‍රීම් ගැන විශේෂ කරුණු

– අයිස්ක්‍රීම් කෝන් එකක් 50 වතාවක්වත් තොල ගැවමලු සම්පුර්ණයෙන් ඉවර වෙන්නේ.
– දෙවන ලෝක යුද්ධය නිම වීමේ ප්‍රීතිය සැමරුවෙත් අයිස්ක්‍රීම් කාලා.
– ලොව ප්‍රමුඛම අයිස්ක්‍රීම් රස දෙක වැනිලා හා චොකලට්.
– ජූලි මාසේ ඇමරිකාවේ අයිස්ක්‍රීම් සඳහා වෙන් කල මාසයයි.
– අයිස්ක්‍රීම් කන්න වැඩියෙන්ම කැමති අවුරුදු 2-12 අතර ළමයි සහ අවුරුදු 45ට වැඩි අයයි.

 

ඔන්න ඔය විදිහට තමා අයිස්ක්‍රීම් ගැන ඉතිහාසයේ කියවෙන්නේ. එහෙනම් ඉතින් අයිස්ක්‍රීම් ගැන දැනගන්න ඔයාලගේ යාළුවන්ටත් බලන්න Share කරන්න.