චීනය එක්සේසත් කළ පළමු අධිරාජයා

ක්‍රි. පූ. 3 වන සියවස මැදභාගය වන තුරු චීනය එක්සත් රාජ්‍යයක් වූයේ නැහැ. ඒ වෙනුවට එය කුඩා රාජ්‍යයන් හි එකතුවක් වුණා. ක්‍රි. පූ. 247 දී මෙයින් බටහිරින් ම පිහිටි චින් රාජ්‍යයේ රජතුමා මියගොස්, ඔහුගේ 13 හැවිරිදි කුමාරයා රජ බවට පත් වුණා. ඔහු ඉන් පෙර කිසිදු චීන පාලකයෙකු නොකළ කාර්යයක් සිදු කිරීමට සමත් වුණා. එනම්, චීනය එක්සත් කිරීම යි.
චීනය එක්සත් කිරීම යුද්ධ, කුමන්ත්‍රණ, සහ බල අරගලයන්ගෙන් පිරුණු කතා පුවතක් වනවා. ඉතාමත් බරපතල වූ යුද්ධවලින් පසු ක්‍රි. පූ. 221 දී චීනය එක්සත් කිරීම සම්පූර්ණ වුණා. මේ අනුව චින් රාජ්‍යයේ රජු චීනයේ පළමු අධිරාජයා ලෙස පත් වුණා.
චින් රාජධානියේ යින් ජියෙන් කුමාරයා උපන්නේ ක්‍රි .පූ. 259 දී යි. එවකට චීනයේ රාජධානි හතක් වුණා. චින්හි යිරෙන් කුමාරයා එවකට වාසය කළේ චාඕ රාජ්‍යයේ යි. ඒ සටන් විරාම කොන්දේසියක් ලෙස එහි රජපවුලෙහි ඇපකරුවෙකු වශයෙනුයි. එහි දී ඔහුට ලූ බුවෙයි නම් වෙළෙන්ඳෙකුගේ අනියම් බිරිඳක මුණ ගැසුණා. ලූ බුවෙයිගේ ද අනුමැතිය සහිත ව ඔවුන් විවාහයට එළඹුණ අතර, එයින් යින් ජියෙන් උපත ලැබුවා.
ඇතැම් ඉතිහාස වාර්තා අනුව ලූ බුවෙයි යනු යින් ජියෙන්ගේ පියා යි. එම වාර්තා සඳහන් කරන්නේ යිරෙන් කුමාරය හා විවාහ වන විටත් ලූ බුවෙයි හේතුවෙන් ඇය ගැබ් ගෙන තිබුණු බව යි. මෙසේ යින් ජියෙන්ගේ උපත පිළිබඳ පවතින කුකුස සහ ඔහු අවජාතක අයෙකුයැ යි වන අදහස පසු කලෙක ඔහු ව පහත් කොට සැලකීමට ඇතැම් අය හේතුවක් කරගත්තා. නමුත් මේ කතා පුවත එතරම් ම පිළිගැනීමට ලක් වන්නේ නැහැ.
චීනය නිර්මාණය කළ හමුව​
යිරෙන් කුමරු සිය රට බලා ආ විට, ලූ බූවෙයි ද එහි පැමිණියා. ඔහු යිරෙන් කුමරුගේ අගමැති බවටත් පත් වුණා. මේ අතර රැජිණ සමග ද ඇසුරක් දිගටම පවත්වාගන ගියා.
රජතුමාගේ මරණයෙන් පසු එවකට වයස අවුරුදු 13කට ආසන්න වූ යින් ජියෙන් කුමාරයා රජබවට පත් වුණා. ඔහු විසින් ලූ බුවෙයි අගමැති තනතුරට පත් කළා. මේ අනුව ලූ බුවෙයි සහ මව් රැජිණ රාජධානියේ පාලනය කරගෙන යන අය බවට පත් වුණා.
කලින් සඳහන් කළ පරිදි මෙය චීනයේ යුධමය සමයක්. ඊට ඉතිහාසකරුවන් දී ඇති නාමයත් යුධවදින රාජ්‍යයන්ගේ යුගය යන්න යි. දහතුන් හැවිරිදි කුමාරයෙකු යටතේ චින් රාජධානිය කෙසේ නිරුපද්‍රිත ව පවතී ද යන්නත් සැක සහිත වුණා.
මේ අතරවාරයේ දී සමස්ථ චීනයේ ම ඉතිහාසය උඩු යටිකුරු කිරීමට හැකි සිදුවීමක් වුණා. ලී හ්ස නම් වූ උගත් තරුණයෙක් රැකියාවක් සොයාගෙන රජවාසල වෙත පැමිණියා. ලූ බූවෙයි ඔහු ව බඳවා ගත්තා. ඉන්පසු ලී හ්ස රජතුමා මුණගැසීමට අවස්ථාවක් සලසාගත් අතර, ලූ බුවෙයි එම අවස්ථාවට සහභාගී වූයේ නැහැ. ලී හ්ස සේවයට බඳවා ගැනීම සහ ඔහුට තනි ව රජු හමුවීමට ඉඩ දීම ලූ බුවෙයිගේ අවසානයට ද, චීන අධිරාජ්‍යයේ ආරම්භයට ද හේතු වූ අතිශය තීරණාත්මක සිදුවීම් දෙකක්යැ යි ඒ අවස්ථාව වෙද්දී කිසිවකුත් දැන නොසිටින්නට ඇති.
චීන රාජ්‍යයන් එක්සේසත් කිරීම සඳහා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නොලැබෙන අවස්ථාවක් ලැබී ඇති බවත්, ඒ සඳහා නියම සුදුස්සා යින් ජියෙන් රජු බවත් ලී හ්ස අවධාරණය කළා. යුධ හමුදාව නවීකරණය කිරීම සහ විශාල කිරීම මෙහි දී වැදගත් බව ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම රජු වෙත බලය කේන්ද්‍ර කරගැනීමේ වැදගත්කමත් ලී හ්ස අවධාරණය කළා. යුධ හමුදාව ඒ සඳහා වැදගත් ම ආයතනය වුණා.
මේ අනුව යුධ හමුදාව සඳහා අලුතින් සේනා බඳවා ගැනීම​, සන්නාහයන් වැඩි දියුණු කිරීම, සහ අවි ආයුධ නිපදවීම ද සිදු වුණා. එකල චීන හමුදා භාවිතා කළාට වඩා දිගින් වැඩි අසිපත්, චින් රාජ්‍යය විසින් නිපදවීම ඇරඹුණා. කලක් ගතවීමේ දී චින් රාජ්‍යය සිය යුධ ව්‍යාපාරයන් ආරම්භ කළා.
මෙම සටන්වල දී යුධ ශක්තිය මෙන්ම කෲරත්වය ද ඉතා වැදගත් අවියක් ලෙස යොදා ගැනුණා. එතෙක් සාමාන්‍ය සම්ප්‍රදාය වූයේ යුද්ධයක දී අල්ලා ගන්නා සෙබළුන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය සත්කාරයන් ජයග්‍රාහී හමුදාව විසින් සිදුකිරීම යි. නමුත් එහි දී තම ඉදිරි ගමනෙහි වේගය අඩාල වන බව තීරණය කළ රජු, ඔවුන් සමූල ඝාතනය කිරීමට පටන් ගත්තා. වේගවත් යුධ මෙහෙයුම්, ශක්තිමත් හමුදාව, සහ කෲර ක්‍රියාකලාපයන් හේතුවෙන් චින් හි යුධ හමුදාව අනෙකුත් රාජ්‍යයන් එකින් එක අල්ලාගත්තා.
රජය පෙරලීමේ කුමන්ත්‍රණය​
මේ අතරවාරයේ මව් රැජිණ අලුත් ප්‍රේමවන්තයෙකු සොයාගෙන තිබුණා. ඒ ලාඕ අයි නම් වූ සෙන්පතියා යි. ලාඕ අයි ප්‍රකට ව සිටියේ අංගඡේදනය කළ නපුංසකයෙකු ලෙස යි. නමුත් ඔහු සත්‍ය වශයෙන් ම නපුංසකයෙකු වූයේ නැහැ. මව් රැජිණට ඔහුගෙන් දරුවන් දෙදෙනෙකු ද ලැබී තිබුණ අතර, ඔවුන් රැජිණගේ මාළිගයේ හොර රහසේ හැදී වැඩුණා. ලාඕ අයි සහ මව් රැජිණ බලාපොරොත්තු වූයේ අනාගතයේ දිනෙක එම කුමාරයෙකු රජ බවට පත් කිරීම යි.
නමුත් මෙම උත්සාහය පිළිබඳ රජුට කනින් කොණින් ආරංචි එන්නට වුණා. රජු රහස දැනගැනීමට ආසන්න බව වැටහුණු ලාඕ අයි වහ වහා ක්‍රියාත්මක වුණා. ඔහු රජුගේ නිල මුද්‍රාව සොරකම් කර ඒ මඟින් යුධ හමුදාවට අණ දීම සඳහා තමන්ට අයිතිය ලැබී ඇති බව රඟ දක්වමින් අගනුවර හමුදා සේනාංකයක් තමන් වෙත නම්මා ගත් බව කියැවෙනවා.
මේ අතර නිල මුද්‍රාව අතුරුදහන් වීම පිළිබඳ ව දැනගත් ලූ බුවෙයි ඒ බව රජුට දන්වා සිටියා. මේ අනුව රජුගේ හමුදාව රජ වාසලට වී සිටියේ ලාඕ අයිගේ හමුදාව එනතුරු සූදානමින්. නමුත් ලාඕ අයි ඒ බව දැන සිටියේ නැහැ. ලාඕ අයිගේ සේනා රජවාසල අසලට ම එන තෙක් රජුගේ හමුදාව පහර දුන්නේ නැහැ. කැරලිකාර සේනා තමන් නොදැනීම කොටු වුණා. රජුගේ දුනුවායන් සැඟවුම් ස්ථානයන් හි සිට එල්ල කළ ප්‍රහාරවලින් එම හමුදා විනාශයට පත් වූ අතර, ලාඕ අයි අත්අඩංගුවට ගැනුණා.
රජුගේ අණින් ලාඕ අයි මරණ දඬුවමට යටත් කෙරුණ අතර, මව් රැජිණට ද එම අවස්ථාව නැරඹීමට බල කෙරුණා. මේ අතර ඇගේ කුඩා දරුවන් දෙදෙනා ද මරා දමනු ලැබුණා.
මේ අවස්ථාවේ රජු ආරක්ෂා කිරීමට නොහැකි වීම පිළිබඳ ලූ බුවෙයි ද වරදකරු කරනු ලැබුණා. ඔහු සහ මව් රැජිණ අගනුවරින් පිටුවහල් කිරීමට රජු නියෝග කළා. ඇතැම් පුරාවෘත්තයන් සඳහන් කරන්නේ මෙසේ ලූ බුවෙයිට මරණ දඬුවම ලබා නුදුන්නේ, රජුගේ නියම පියා තමන්යැ යි ඔහු විසින් රජුට හෙළි කිරීම නිසා බව යි.
යන්තම් ගැලවුණ ඝාතන තැත
මෙකල චීනයේ ඊසානදිග ප්‍රදේශයේ වූ යෑන් ග් රාජ්‍යය තමන් දෙසට චින් හමුදා පැමිණීමට පෙර චින් සමග මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය බව පෙන්වා සිටියා. ඔවුන් චින් හි අගනුවර වෙත දූතයින් දෙදෙනෙකු එවූයේ රජුට තිලිණයන් ද සමගින්. ජින් කේ සහ චින් වුයෑංග් නම් වූ මෙම දූතයින් ඇත්තෙන් ම ඝාතකයින් දෙදෙනෙක්. ඔවුන් චින් හි රජුගේ ජයග්‍රහණ දැක්වෙන සිතියමක් සහ වෙනත් ත්‍යාගයන් පෙට්ටි දෙකක බහා ගෙනවිත් තිබුණා.
රජ සභාවට පැමිණි අවස්ථාවේ චින් යුවෑංග් බියට පත් ව රජු ඉදිරියට යෑමට මැළි වුණා. මේ අවස්ථාවේ ජින් කේ, ත්‍යාග දෙක ම රජු ඉදිරියෙන් තබා සිතියම දිග හරින්නට පටන් ගත්තා. එහි අගිස්සක කිණිස්සක් රඳවා තිබුණා. සිතියම දිග හරින අතර ජින් කේ එය ඇද රජුට පහර දීමට සැරසුණා. රජු පිටිපසට පැන ගැලවුණත් ඔහුගේ අසිපත ඇද ගැනීමට රජුට ද නොහැකි වුණා. ජින් කේගේ කිණිසි පහර මඟ හරිමින් රාජසභාවේ පිටිපසට දිව ගිය රජු, එහි වූ ඇතුලු කාමරයක දී සිය අසිපත ඇද ජින් කේ මරා දැම්මා.
තමන්ට එරෙහිව කළ කුමන්ත්‍රණයෙන් පසු රජු සිය රාජසභාවේ කිසිවකුට අවි අතැති ව සිටීමට අවසර දුන්නේ නැහැ. ඔහු ව වෙනත් අයෙකුට බේරාගන්නට නොහැකි වූයේ ඒ නිසයි.
චූ රාජ්‍යය පරාජය කිරීම
අනෙකුත් රටවල් යටත් කරන ගමනේ දී චින් හි රජුට වූ බරපතල ම අභියෝගය ආවේ චූ රාජ්‍යයෙන්. එරට එවක චීනයේ වූ චින් හැරුණු කළ විශාල ම රාජ්‍යය වුණා. එමෙන්ම එයට ද විශාල හමුදාවක් සිටියා. චින් රාජ්‍යය ද ඔවුන් හා යුධ වැදීමට අලුතින් හමුදාවන් බඳවා ගත්තා.
රටවල් දෙකෙහි යුධ හමුදා මුහුණට මුහුණ හමු වූ අවස්ථාවේ චින් හමුදාව ජයග්‍රහණය සඳහා ප්‍රයෝගයක් කළා. ඔවුන් පෙන්වා සිටියේ තමන්ගේ සූදානම ආරක්ෂාකාරී යුද්ධයක් සඳහා වන බව යි. නමුත් ඔවුන් සූදානම් ව සිටියේ ප්‍රහාරයක් සඳහා යි.
චින් හමුදාවන් හි මුල් පෙළ වූයේ දුනුවායන්. ඉන්පසු පාබල සහ අසරු හමුදාව වුණා. සතුරු සේනාවලට මුලින්ම දුනුවායන් යොදා පහර දී ඔවුන් දුර්වල කොට පසු ව පාබල හා අසරු සේනා යොදා පහර දීම ඔවුනගේ ක්‍රමය වුණා.
මෙම අවස්ථාවේ චූ සේනාංක, චින් හමුදාව ආරක්ෂිත සටනක් සඳහා සූදානම් වූයේයැ යි සැක සිතී, යුධ පෙරමුණෙන් පසු බැස්සා. ඔවුනගේ අදහස වුණේ වඩා ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් සටන් කිරීම යි.
සටන් බිමේ කුඩා උස් බිමක සිටි ඔවුන් එයින් පහළට බැස ඉවත ඇදී ගියා. මේ අවස්ථාවේ චින් දුනුවායන් වේගයෙන් ඉදිරියට ගොස්, එම උස්බිම කරා පැමිණ ආපසු යන චූ හමුදා වෙත පහර දුන්නා. ඊට පිටිපසින් ආ පාබල හා අසරු සේනා අධෛර්යය වූ චූ හමුදා වෙත කඩා පැන්නා. එය තනිකර ම චූ හමුදාවේ සමූල ඝාතනයක් බවට හැරුණා.
එතැනින් පසු චින් සේනා නැවතීමට සමස්ථ චීනයේ ම ජගතෙකු වූයේ නැහැ. ක්‍රි. පූ. 223 දී චූ රාජ්‍යය මෙසේ විනාශ කරන ලද අතර, ක්‍රි. පූ. 221 දී සමස්ථ චීනය ම එක්සත් කරනු ලැබුණා.
මේ අනුව යින් ජියෙන් තමන්ව චීනයේ පළමු අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කළා. ඔහුගේ අධිරාජ නාමය වූයේ චින් ෂී හුවාන්ග් හෙවත් චින් හි පළමු අධිරාජයා යි. එමෙන්ම ඔහු තමන් දිව්‍යමය වරමකින් අධිරාජ පදවියට පත් වූ බව ප්‍රකාශයට පත් කළා.
අධිරාජයා ලෙස එක් අතකින් ඔහු එතෙක් මෙතෙක් ලෝකයේ වූ විශාල ම ඉදිකිරීමක් වූ චීන මහා ප්‍රාකාරය ඉදිකළා. අනෙක් අතින් ඔහු අමරණීයත්වය සොයා ගොස්, තමන් අවට වූවන් පීඩාවට පත් කරමින් තමන්ගේ ජීවිතය ද අකාලයේ විනාශ කරගත්තා. 

Great-wall-of-china-facts

උපුටා ගැනීම roar media
Chamara Sumanapala