නුවන් කුලසේකරටත්, අවසන් එක්දින තරඟයක් සමග හතුරුසිංහ ප‍්‍රමුඛ පුහුණු මණ්ඩලයට එම ධුරවලින් ඉවතට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට පැවැත්වෙන තුන් වන එක්දින ජාත්‍යන්තර තරඟය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙන් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ මෙහෙවර උදෙසා එහිදී උපහාර උළෙලක් ද පැවැත්වෙනු ඇති.
2003 වසරේ ශ්‍රී ලංකා පිළ නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියට පිවිසි නුවන් කුලසේකර, 2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රමුඛ දායකත්වයක් දැක්වුවා.
2011 වසරේදී ශ්‍රී ලංකා පිළ ලෝක කුසලාන අවසන් මහා තරඟය දක්වා රැගෙන යාමට දායක වූ ඔහු 2009 වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් අවසානය දක්වා අයි.සී.සී. එක්දින පන්දු යවන්නන්ගේ දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.
නුවන් කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 21කදී කඩුලු 48ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 184කදී කඩුලු 199ක් බිඳ හෙලා තිබෙනවා.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඉදිරි සතියේදී ප‍්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරුණු ඇතැයි කි‍්‍රකට් ආරංචි පවසනවා.
කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණේ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ ප‍්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයට එම ධුරවලින් ඉවත් වන ලෙසයි.
එම තීරණයට ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේද අනුමැතිය හිමි වුණා.
චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස යළි එක්වනු ඇති බවටද වාර්තා පළ වනවා.