පනාකඩුව තඹ සන්නස -Panakaduwa Copper Plate Grant

1948 වසරේ පෙබරවාරි මස පනාකඩුව නම් දුෂ්කර ගම්මානයක ඉඩමක් කොටමින් සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නැමැත්තාට නුහුරු යමක් තම උදැල්ලේ වැදුණු බව දැනුනි. මේ කුමක්දැ යි සොයා බැලූ විට ඔහුට තහඩු තුනක් හමුවිය. අප්පුහාමි මෙයත් රැගෙන තම නිවෙස වෙත ගියේ මෙම තහඩුවල කුමක් හෝ වටිනාකමක් ඇතැයි ඔහු සිතු නිසාවෙන්. නිවස වෙත ගොස් ගොරකා දමා තහඩුවල බැඳී තිබූ ඔක්සයිඩ පටලය ඉවත් කළ විට එහි නොදන්නා අකුරු ජාතියක් ලියා ඇති බව දැකගන්නට පුළුවන්කම ලැබුණි. නමුත් එහි සමහර අකුරු කියවීමටත් හැකියි. මේ වන විට අප්පුහාමි හට නිධානයක් ලැබී ඇතැ යි ගම පුරා ප්‍රචාරය වී තිබීම නිසා ගමෙන් වැඩිමනක් අප්පුහාමිගේ නිවස වටා එක්රොක් විය.
ගමෙහි සිටි උගතා වූ කොප්පරකොටුවේ වෙද මහතා ද මෙය පරික්ෂා කර බැලුවේ ය. ගම්මුන් පැවසුවේ නම් මෙම තහඩුවල කොටා ඇත්තේ මන්තර බව යි. මේ කෙසේ වෙතත් අප්පුහාමිට අවශ්‍ය වුයේ මෙහි රත්තරන් ඇත්දැ යි දැනගැනීමට යි. ඒ නිසා ඔහු තහඩුවක කොනකින් කුඩා කොටසක් කපාගෙන අකුරැස්සේ පිහිටි රත්තරන් වැඩපලකට ගොස් මෙය පරික්ෂා කර බැලූ පසු අනාවරණය වූයේ මෙහි රත්තරන් නොමැති බවත්, ඇත්තේ තඹ පමණක් බවත්. මෙමගින් අප්පුහාමිගේ සියලු බලාපොරොත්තු සුන් විය.
ලිස් මහතා ජීවත්වන නිඅර්නෝලිස් මහතා ජීවත්වන නිවස
ලිස් මහතා ජීවත්වන නිඅර්නෝලිස් මහතා ජීවත්වන නිවස
මෙම තහඩුවල කිසිදු වටිනාකමක් නැතැ යි සිතූ අප්පුහාමි, තහඩු තුන කොට්ට උරයක ඔතා වී මල්ලක දැම්මේ ය. මෙසේ ටික කලක් ගත වූ විට අප්පුහාමි තදබල ලෙස අසනීප වූ අතර පවුලට ද නොයෙක් කරදර ඇතිවිය. ගමේ සිටියවුන් කියා සිටියේ මේ සියල්ල සිදු වූයේ තහඩු කැබලි නිසා බව යි. එබැවින් අප්පුහාමි මෙම තහඩු කැබලි තුන බෙංගමුව චෙතියකන්දරාරාමයේ විහාරාධිපතිව සිටි මොලොක්ගමුවේ සරණපාල හාමුදුරුවන්ට ලබා දුන්නේ ය. මෙයිනුත් තරමක් කලක් ගිය විට අප්පුහාමිගේ නිවෙසට පොලිසියෙන් පැමිණි නිසා මේ සිදුවන්නේ කුමක්දැ යි ඔවුන්ට සිතා ගත නොහැකි විය. ඔවුන් සමග පැමිණියේ පුරාවිද්‍යා කොමසාරිස් වූ සෙනරත් පරණවිතාන මහතා ය. ඔහු එහි පැමිණ විස්තර කළේ අප්පුහාමි සොයාගත් තඹ සන්නස විශාල වටිනකාමකින් යුක්ත වන බවත්, මෙය මහා පලවන විජයබාහු රජු විසින් තමන්ව කුඩා කල දී හදාවඩාගත් සෙනෙවියෙකුට තෑගි බෝග දුන් ආකාරය ලියවුනු සන්නසක් බවත් ය. පනාකඩුව ග්‍රාමයේ දී මෙය සොයාගත් නිසා මෙයට පනාකඩුව තඹ සන්නස ලෙස නම තැබුවේ ය.

Panakaduwa Copper Plate Grant

මෙම සන්නසෙහි දිග අඩි 1යි අගල් දෙකහමාරකි. පළල අගල් 3ක් වන අතර ඝනකම අගලකින් අටෙන් එකකි. එක් පත්ඉරුවක අක්ෂර පේලි හත බැගින් තිබේ. රෝහණ දේශය පාලනය කරමින් සිටි මොග්ගල්ලාන රජුට සහ ලොඛිතා බිසවට කිත්ති, මහින්ද, රක්ඛිත, සහ මිත්‍රා යනුවෙන් දරුවන් හතර දෙනෙක් විය. කිත්ති කුමරුවා කුඩා කල ආරක්ෂා කළේ බුද්ධරාජ නොහොත් බුදල්නා නමැති සෙනෙවියා විසිනි. පසුකාලීනව මහා විජයබාහු ලෙස රජකමට පත් වන කිත්ති කුමරු රුහුණේ සිට සේනා රැස් කර, එකල ආක්‍රමණිකයන් ලෙස සිටි චෝලයන් රටින් පලවා හරිනු ලබනවා. පනාකඩුව තඹ සන්නස පිරිනමන්නේ ඉහත සදහන් කළ බුදල්නා නමැති සෙනෙවියාට යි. රජතුමාගේ බසින් මානුෂීය හැඟීම් ජනිත කරවන ආකාරයට කෙටියෙන් සන්නස ලියා තිබේ. පරණවිතාන මහතා පවසන්නේ තම ආඥාවක් යටතේ ලියවුණු ලේඛණයකින් තමන් ගැන තමන්ම සඳහන් කරන රජකු මුල්වරට හමුවූයේ පනාකඩුව තඹ සන්නසින් බව යි.
බුදල්නා තමන්ට කළ උපකාරය ගැන සන්නසෙහි මෙසේ සදහන් වේ; ‘‘රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන් අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජෝත්තමයාණන් වහන්සේ ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා මුල් පල ආහාරවලින් පෝෂණය කොට පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා’’.

අප්පුහාමිට හමුවූ පනාකඩුව තඹ සන්නස

මහලු වයසෙහි සිටි බුදල්නා හට මෙම සන්නස ප්‍රදානය කර ඇත්තේ ක්‍රි.ව. 1087 හෝ ඊට අසන්න වර්ෂයක විය යුතු යි. එතැන් පටන් එකිනෙකා අතට පත්ව අවසන කුඹුරකින් මෙම සන්නස අප්පුහාමි අතට පත් වන්නේ ඉන් වසර 850කටත් පසුව යි. දිනක් අප්පුහාමිගේ නිවසට පැමිණි කිහිපදෙනෙක් මෙම සන්නස සොයාගැනීම නිසා අප්පුහාමිට ලබාදෙන ත්‍යාගය ගැන කතාබහ කළේ ය. ලබා දෙනවාට කැමති ඉඩම් අක්කර 50ක් ද නැතහොත් රුපියල් 500ක්දැ යි අප්පුහමිගෙන් ඇසූ විට අප්පුහාමි පිළිතුරු දුන්නේ රුපියල් 500 ලැබීමට කැමති බව යි. ඉන් ටික දිනකට පසු ඩි.එස්. සේනානායක අතින් අප්පුහාමිට රුපියල් 500 ලැබුණි. මුදල් මෙසේ ලැබුණත් අප්පුහාමි ඇතුළු පවුල ගොවිතැන අතහැරියේ නැත. පනාකඩුව තඹ සන්නස ගැන පාසල් පෙළ පොත්වල පවා සදහන් වුව ද මෙම සන්නස සොයා ගත ආකාරය ගැන දන්නේ අතලොස්ස යි.
පනාකඩුව තඹ සන්නස (අද සිංහල තේරුම සහිතව)
(අ)
1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු –
තේරුම – මංගල ශ‍්‍රියක් වේවා, ශ‍්‍රීමත් වූ අපය¸න්ත (කෙළවරක් නැති) ලෝකොත්තර ගුණ සමූහයෙන් ඉතිරෙන සකළ ජම්බුද්වීපයෙහි අන්‍ය ක්‍ෂති‍්‍රය සමූහයා

2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො –
තේරුම – පාද මූලයෙහි (දාසයන්) කළ ඔක්කාක රාජ පරම්පරාවෙන් පහළ වූ ක්ෂති‍්‍රයෝත්තමයනට අග‍්‍ර මහේෂිකාවක (වැනි) වූ

3) ළො යොහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ තුමා සිය විත් –
තේරුම – ලංකාදීප පෘථිවි නමැති තරුණ කාන්තාවගේ පරම්පරාගත උරුමය අනුව ස්වාමියා වූ සිරිසඟබෝ විජයබාහු (1 විජයබාහු) රජතුමන් වහන්සේ තමාගේ වික‍්‍රමයෙන්.

4) මෙන් දෙමෙළ බල මුළු අන්දුරු දුරු ලා මුළු ලක්දිව් එක් සේසත් කැරැ රජ වළන්දමින් ස –
තේරුම – ද්‍රවිඩ භට සමූහයා නමැති අඳුරු දුරු කොට සකල ලංකාද්වීපය ඒකච්ඡත‍්‍ර කොට රජ සැප විඳීමෙන්.

5) විසි හවුරුද්දක් ඉකුත් සත් ළැඟු සත් විසි වන්නෙහි කැත්තෙ සන්ද අව පස්මස්හි අවසත –
තේරුම – විසිවසක් ඉකුත්වූ (හෙවත්) ඡත‍්‍රය එසවීමෙන් (රජ බවට පත්වීමෙන්) සත් විසි වැන්නෙහි කැති සමයේ දෙවන වප් මස අව සතවත්

6) වක්දවස් නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින් වැඩැහින් දෑ
තේරුම – දිනයෙහි අනුරුධපුරවරෙයහි සිංහාසනාරූඪ ව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝක කරමින් වැඩ හිඳ

7) තමා සොවුරු ඈපා මායා යුව රජ ඈ රජගණා ප‍්‍රමුඛයෙන් සිහවිකුම් යහළ යුවළතිනුක –
තේරුම – සහෝදර වූ ආදිපාද – මහාදිපාද – යුවරජ ආදී රාජ සමූහයා අභිමුඛයෙහි සිංහ වික‍්‍රමය ඇත්තේ විය ගහ ඔසොවා දෑතින් දරමින්

(ආ 1) 1) හා ප‍්‍රහළ යසපබන්ද දසන් මෙරජවැළ ලතුළු ලවන් අත් පස්හි පාමින් රූණු දඩ –
තේරුම – ප‍්‍රවාහනය වන යසස් තේජස් ඇත්තේ දන්ත කාන්ති රශ්මියෙන් අලංකාර වුණු දෙතොල් හාත්පස්හි දක්වමින් (හෙවත් කථා කරමින්)

2) නායක පින්නරු බිම් බුදල්නාවන් අප සොළි දෙමළුන්ගෙ විබලයෙන් සිජ රජින් පි –
තේරුම – “රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන්” අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී
3) රිහී ගල්වලැ වැළැහී වන අවදියැ අප පිය මහ සැමිය මුගලන් රජ පා වහන්සේ.
තේරුම – වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජොත්තමයාණන් වහන්සේ (මෙතුමා රජ වූ බව කීවත් රජවූ බවක් සොයා ගන්නට නැත.)

4) ඈ මුළු රජකුල සිය පිරිස්නෙන් රැකැ අප සඟවියෙහි වඩා වන මුල් පලා භරණයෙන්.
තේරුම – ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා වන මුල් පලාහාරවලින්.

5) පුසැ ඇකුත් ඇකුත් තන්හි මඟමින් ඇසිරෙන විපකුන් කෙරෙහි වළගා කන්හි තන්හි
තේරුම – පෝෂණය කොට, පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල

6) විග‍්‍රහ බැන්දෑ රුහුණු දනවු පෙරෙළා එකත් කොට ගල්වලින් බහා සිය රජහි පිහිටු –
තේරුම – යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට, වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා

7) වා දුක් වුන් ප‍්‍රාශාදයට මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු සෙද –
තේරුම – දුක් වින්ද ප‍්‍රශාදයට මොවුන්ගේ දරු මුණුපුරන් විසින් ද, මොවුන්ගේ පරම්පරාවට අයත් වූවන් විසින් ද,
(ආ 2)

1) ඩ මුඩු ගතැ යුතු දොෂයක් කළ ද බසින් පටවා කරණ දැහැවිල්ලෙන් මුත් දඩ මුඩු නොග –
තේරුම – දඩ මුඩ ගත යුතු වරදක් කරන ලද නමුත් වචනයෙන් වරද විනිශ්චය කොට කරන තර්ජනයෙන් මිස, දඩ මුඩ නොගැනීම ද (නොගත යුතුය යන අදහසයි)

2) න්නාච දැඟැලා නො පටවනු ව දිවි දී මිසැනොමුස්නා වරදකුදු ඇත තුන් වරක් දක්වා ෂමා කරනු කො –
තේරුම – සිරගෙයි දමා නොසංසිදුවීම ද, ජීවිත දානයෙන් (මරණීය දණ්ඩනය දීමෙන්) මිස නොමිදිය හැකි වරදක් ඇතිවුවද, තුන්වන වාරය දක්වා ක්ෂමා කිරීම ද,

3) ට ච පෙත් පමුණු නො ගන්නා කොට ව යම් පමණ දොහයකුදු කළ අභය දී දැකැ පියවන් මුත්.
තේරුම – ඉඩම් කොටස් හෝ පරවෙණී ගම් නොගැනීම ද, යම් පමණ රාජද්‍රෝහී කමක් කලත් අභය දානය කොට (රජු ම ඔහු වෙත ගොස්) බලා රටින් පිටුවහල් කරන මිස –

4) නිග‍්‍රහ නොකරන කොට මේ වැවස්ථා අප සිය කැතතුලෙහි ඔකාවස් රජ පරපුරු පු –
තේරුම – නිග‍්‍රහ නොකිරීම ද, යන මේ ව්‍යවස්ථා අප සිය ක්ෂති‍්‍රය වංශයෙහි – ඔකාවස් රාජපරම්පරාව

5) වත්නා තාක් සාසන කොට දෙන්නෙය් කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම්නාවිනි තුන් දා
තේරුම – පවත්නා තාක් (පැවැතිය යුතු යයි) ලියා තබා දිය යුතු යයි කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම් හි නාවිනි

6) දෙටුන් දක්වා වදාළෙගින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් වැඩි තැන් සඟවියෙ –
තේරුම – තුන්දොටුන්හට ප‍්‍රකාශ කළ හෙයින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් විසින් (වැඩි තැන්) රජතුමා ළදරු වියේහිදී

7) හි වඩමින් ලොවැඩ වඩා මුළු රජ කුල සැමැඟැ රක්මින් මුළු ලොය් දිවි රැකැ වන මුල් පලාභරණේ –
තේරුම – හදාවඩමින් ලොකාභිවෘද්ධිය කොට මුළු රජ පවුල සමඟ ආරක්ෂා කරමින් සකල ලොකයා ගේ ජීවිතය ආරක්ෂා කොට වන මුල පලයන් ගෙනවුත් දීමෙන්.

(ඉ)
1) න් පුස්මින් මුළු ලොය් පුසැ වැඩිතැන් සිය රැජහි පාළ කෙරෙමින් මුළු ලොය් සෙත් පාළ කොට දු –
තේරුම – පෝෂණය කරමින් මුළු ලොව ද පෝෂණය කොට රජතුමා ස්වරාජ්‍යයෙහි පහළ කරමින් (පිහිටුවමින්) මුළු ලොකයට සෙත පහළ කර

2) න් වුන් ප‍්‍රශාදයට ලක්දිව් තෙලෙහි මකාවස් රජපරපුරෙන් බව කැත කුලෙහි රජ පරපුරු
තේරුම – දුක් විඳි ප‍්‍රශාදරයට ලංකාද්වීපයෙහි මකාවස් රජ පරම්පරාවෙන් පහළ ක්‍ෂති‍්‍රය රාජ පරම්පරාව

3) පුවත්නා තාක් මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු යේ දඩමුඩු ගතැ සිතු වර –
තේරුම – පවත්නා තාක් (මෙතැන් සිට ඉ-1 – 7 වන පෙළ දක්වා ඇති කොටස ආ 2 – 1 සිට 4 වැනි පෙළ දක්වා ඇති කොටසට සමානයි)

4) දෙකැ බසින් පටවා කරන දැහැවිල්ලෙන් මුත් දඬුමුඩු නො ගන්නා ව දැඟැලා නො පටනු ව
5) දිවි දී නොමුස්නා දොෂයකුදු කළ තුන් වරක් ෂමා කරනුව පෙත් පමුණු නොගන්නා කො –
6) ට යමු පමණ දොහයකුදු කළ අභය දී දැකැපියවත් මුත් නිග‍්‍රහ – නොකරනු කොට සත් විසි වන්නෙහි
5) කැත්තෙහි අවසතවස් දවස් පිටින් මත්තෙහි මෙවැ සථා කළ බවට දෙමළලෙය් දරු පොතැ අත්වර ලියන දෙව්මි.

තේරුම – කැති මස අව සතවක් දවසින් පසු මෙම ව්‍යවස්ථාව කළ ද්‍රවිඩ ලේඛකයාගේ පොතෙහි සහාය ව ලියන දෙව නමැති මම වෙමි.
 මීළඟට අප විස්‌තර කරනුයේ මෙම සන්නසින් හෙළිවන කිත්ති කුමරුන්ගේ ළමා කාලය පිළිබඳ තොරතුරු හෙළි කිරීමත් එයට ආධාර අනුබල දුන් ප්‍රාදේශීය පාලකයකු වන බුදල්නාවන් (බුද්ධරාජ) පිළිබඳ විස්‌තර සැපයීමටත් ය. කිත්ති කුමාරයා අනුරාධපුර වැදගත් රජ පරපුරකට අයත් බව මා පළමුව පවසා ඇත. ඔහුට රුහුණ එක්‌සත් කිරීමට බොහෝ සේ ආධාර කළේ මේ බුදල්නා නමැති ප්‍රාදේශීය පාලකයා ය. මෙම වකවානුව වන විට චෝලයන් විසින් සිංහල රාජවංශික කුමාරවරුන් සමූලඝාතනය කරමින් සිට ඇත. මෙයට හේතු වී ඇත්තේ එවකට රුහුණේ නායකයන් අතර පැවැති බල අරගලයයි. චෝලයෝ වරින් වර රුහුණට ආක්‍රමණ එල්ල කළහ. මේ තීරණාත්මක අවස්‌ථාවේ කිත්ති කුමරා පෙරටු කොට රුහුණේ එක්‌සත් කිරීමේ කටයුතු කළේ බුදල්නාවන් හෙවත් බුද්ධරාජ බව මෙම සන්නසෙන් හෙළිවේ. තරුණ වියට පත් කිත්ති කුමරුට උතුරේ චෝල බලය මැඩලීමට ප්‍රථම රුහුණේ ආධිපත්‍ය ලබාගැනීම සඳහා ප්‍රබල ප්‍රයත්නයක යෙදීමට සිදුවිය.
 
 එවකට රුහුණේ සිටි ලෝකේශ්වර, කේශධාතු කාශ්‍යප වැනි ප්‍රතිමල්ලවයන් මර්දනය කොට රුහුණේ ආධිපත්‍ය රැකගැනීමට ඔහුට හැකිවිය. ඒ සඳහා සියලු කටයුතු කළේ බුදල්නාවයන් ය. 1055 දී කිත්ති කුමරා පළමු විජයබාහු නමින් රුහුණේ රජවිය. මහාවංශයට අනුව කිත්ති කුමරා කඩු කස්‌නාන පැළඳ ඇත්තේ මාතර දිස්‌ත්‍රික්‌කයට අයත් ‘මුන්සල’ ගමේදීය. පහළොස්‌ වැනි වියේදී ඔහු සිරිය බැන්ද බව මහාවංශයේ සඳහන් වේ.
 
 පහළොස්‌වැනි වියේදී ඔහු ජීවත් වූයේ මාතර තල්අරඹේ ගරාඬු කලපුව මැද පිහිටි ‘ගරා දූවේ’ මාලිගයේ බව මහාවංශයේ සඳහන් ය. එහි කුමාරයාගේ දෙමවුපියන් සහෝදර සහෝදරියන් ද සිටි බව සඳහන් ය. කින්ති කුමාරයා කඩුව පැළඳවීමෙන් පසු යුද සේනා සංවිධානය කොට ශ්‍රී ලංකාව චෝල බලයෙන් මුදාගැනීමේ සටන ආරම්භ කර ඇත.
 
කිත්ති කුමාරයාගේ ආගමික මධ්‍යස්‌ථානය තල්අරඹේ පන්සල වූ බවත් ඔහු තරුණ වියේදී රුහුණේ රජු වූ බවත් මහාවංශයේ සඳහන් වී ඇති බව 2017 මාර්තු 15 වැනිදා බදාදා දිවයින අතිරේකයේ ලිපියක්‌ ලියමින් ආරියසේන එදිරිවීර මහතා පවසා ඇත. කෙසේ හෝ කිත්තිs කුමාරයා 1 විජයබාහු නමින් පොලොන්නරු රාජධානියේ රජ කරවීමේ ගෞරව හිමිවිය යුත්තේ මාතර දිස්‌ත්‍රික්‌කයට බව අවධාරණය කළ යුතු කරුණක. ඊට කෘතගුණ සැලකීම සඳහා මාතර ප්‍රදේශයේ විහාරස්‌ථාන ගණනාවක්‌ ඉදිකර දී ඇත. පුරවිද්‍යා චක්‍රවර්තී තඹරුප්මියේ වනරතන නාහිමියන් ලියූ මාතර මානව වංශය හා පුරාවිද්‍යාත්මක ඉතිහාසය නමැති ග්‍රන්ථයෙහි සඳහන් කර ඇති පරිදි මාතර පරවාහැර වෙහෙර, ගන්දර සඳගිරි වෙහෙර, ඌරුගමුව වෙහෙරගොඩ විහාරයන් ඉදිකර දී ඇත්තේ පළමු විජයබාහ රජුය පරවාහැර, නාඔටුන්න, පාතේගම ආදී ගම්වලන් දෙවුන්දර දේවාලයට දී තිබුණු කුඹුරු පසුකාලීනව රජ වූ පස්‌වැනි විජයබාහුගේ සන්නසක සඳහන් වේ. මේ සන්නසට අනුව මහා විජයබාහු කරවූ මෙම විහාර බල නශ්ඨාවශේෂ අතර ඇති අඟල් 13Ü7 දිග පළලැති ගඩොල් මහා විජයබාහු රජතුමා පොලොන්නරුවෙහි කරවූ දළදා මැදුරෙහි ගඩොල්වලට සමාන බව වනරතන නාහිමියෝ පවසති.
 
 රුහුණු පළාතේ කිරුළ හිමි කරගත් විජයබාහුගේ ඊළඟ ප්‍රයත්නය වූයේ පොලොන්නරු ආක්‍රමණයයි. මේ වන විට චෝල යටත් විජිතවල අරගල ඇතිවන්ට විය. ඉන්දියාවේ වීර රඡේන්ද්‍ර රජුට චෝල විරෝධී සතුරන් මැඬලීමට මුළු කාලය යොදවන්නට සිදුවිය. මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් පළමු විජයබාහු රජතුමා තුන් පැත්තකින් සේනාව යවා ක්‍රි.ව. 1070 දී ශ්‍රී ලංකාව චෝල බලයෙන් සම්පූර්ණවෙන් මුදාගන්නා ලදී. ස්‌වකීය පාලන මධ්‍යස්‌ථානය වශයෙන් පොලොන්නරුව තෝරාගත් අතර එය “විජය රාජපුර” යනුවෙන් නම් කළේය. චෝල පාලනය නිසා දේශපාලනික හා ආර්ථික වශයෙන් අවුල් වී ගිය රට යථා තත්ත්වයට පත්කිරීමට එතුමාට සිදුවිය. එහෙයින් එතුමාගේ කටයුතු ප්‍රතිසංස්‌කරණ කටයුතුවලට හා පුනරුත්ථාපන කටයුතුවලට බරවිය. චෝල පාලනය යටතේ අඩපණ වී තිබුණු වාරිමාර්ග පද්ධතිය පිළිසකර කිරීමට දැඩි උත්සාහයක්‌ ගැනීමට සිදුවිය. ඇළහැර ඇළ ප්‍රතිසංස්‌කරණය කිරීම නිසා මින්නේරිය කවුඩුළු හා කන්තලේ වැව් සම්බන්ධ කෙරුණු වාරි පද්ධතිය යථා තත්ත්වයට පත් කළේය. නාච්චාදුව, මහකනදරා වැව, මහගල්කඩවල, මාන්කඩවල යන වැව් පිළිසකර කෙරුණි.
 
 චෝල පාලනය පුරා අඩසියවසකට ආසන්න කාලයක්‌ පැවතිණ. උපසම්පදා ක්‍රමය අහෝසි වූ බැවින් රාමඤ්ඤ දේශයෙන් භික්‍ෂූන් ගෙන්වා උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කළේය. රජමාලිගාව උතුරින් දළදා මන්දිරයක්‌ කරවා බුදුන්වහන්සේගේ දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව තැන්පත් කිරීමට කටයුතු කර වාර්ෂිකව දළදා පූජාව පැවැත්වීය. වෙහෙර විහාර පිළිසකර කර ගම්වර පූජා කළේය. දිඹුලාගල ආරණ්‍ය විහාරය දියුණු කළේය. සිරිපා වන්දනාව සඳහා මාර්ගය පිළිසකර කර ලැගුම්හල් ඉදිකළ බව එතුමා පිහිටවූ අඹගමුව ශිලා ලේඛනයේ විස්‌තර වෙයි. මෙම ශිලා ලේඛනය නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට අයත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටා ඇත. ක්‍රි.ව. 11,12 සියවස්‌වලට අයත් මධ්‍යකාලීන අක්‍ෂරයෙන් ලියා ඇති මෙම ලිපිය ක්‍රි.ව. 1055-1110 රජුගේ 38 වැනි රාජ්‍ය වර්ෂයේ රජු සමනොල කන්දට ගොස්‌ ශ්‍රීපාදය වන්දනා කළ බවත් වැඳපුදා ගැනීමට පැමිණෙන භික්‍ෂූන් වහන්සේලාට පිණ්‌ඩපාතය ඇතුළු අනෙකුත් සේවාවන් සැපයූ බව සන්නසෙහි දක්‌වා ඇත. අනෙකුත් වන්දනාකරුවන් සඳහා රජු නමින් රජරට මාර්ගයේ ගව්වෙන් ගව්ව දානශාලා ඉදිකළ බවත් මෙම සන්නසින් ප්‍රකාශ වි ඇත. ගිලීමලේ පුවරු ලිපිය ද පළමු විජයාබාහු රජු විසින් කරවන ලද්දකි. එයට අනුව ගිලීමලේ හා බඹරකොටුව ගම් දෙක ශ්‍රීපාදය වැඳීම සඳහා පැමිණෙන බැතිමතුන් උදෙසා ශ්‍රීපාද පද්මයට පූජා කර තිබේ. මේ අනුව බලන විට දේශපාලන වශයෙන් මෙන්ම ආගමික සංස්‌කෘතික වශයෙන් බලන විට ලංකා ඉතිහාසයේ අන් රජෙකුට දෙවැනි නොවන්නා වූ ශ්‍රේෂ්ඨතම නරපතියා පළමු විජයබාහු රජු බව අවිවාදයෙන් පිළිගත හැකිය.
 
 ඉතා දුෂ්කර කාලයකදී රට විදේශ ආක්‍රමණවලට ගොදුරු වූ අවස්‌ථාවක නැවත දිවයිනේ ස්‌වාධීනත්වය ඇති කිරීම එතුමාගෙන් සිදු වූ වැදගත්ම සේවා විදියට හැඳින්විය හැකිය. එතුමාගේ චරිතයෙන් පෙනෙන බොහෝ ලක්‍ෂණ අතුරින් එක්‌ ලක්‍ෂණයක්‌ කෙරෙහි අවසාන වශයෙන් සඳහන් කරමු. රජතුමා ගත කළ දුෂ්කර ජීවිතය අවසන් වී රාජශ්‍රීයට පත් වූ පසු මුලදී තමා හා තම පවුලේ උදවියට උදව් උපකාර කළවුන් සඳහා ගම්වරදී සිහිපත් කරවීම පිණිස තඹ සන්නසකින් ලියා දැක්‌වීම ඔහුගේ උදාර ලක්‍ෂණයක්‌ ලෙස හැඳින්විය හැකිය. ඔහුගේ මෙම ක්‍රියාව එදා මෙන්ම අද පාලකයන්ටත් මහඟු ආදර්ශයක්‌ වනු ඇත.

මුලාශ්‍රයයන් 

divaina – I වැනි විජයබාහු රජුට පණ දුන් පණාකඩුවේ කරෝලිස්‌ අප්පුහාමි

lakdivanews – ඉතිහාසයක් වෙනස්කළ පනාකඩුව තඹ සන්නස
roar – අප්පුහාමිට හමුවූ පනාකඩුව තඹ සන්නස