Aluthsl

බුදුන් දුටු අනාගත භය කවදා සිදුවන් නේද ?

බුදුන් දුටු අනාගත භය කවදා සිදුවන් නේද ?
කලින් කලට අපට නොයෙක් අර්බුදවලට මුහුණ පාන්නට සිදු වේ. ගංවතුර යන කල්හී නාය යෑම් ය. කලකදී වැස්ස නොමැතිව නියඟයෙන් පීඩා විඳිති. ත්‍රස්තවාදී බිය පහව යන විට පෑල දොරින් සොර සතුරු බිය ගෙට වදියි. සමහර අයට ගිනිකඳු නිසා ද ලැව්ගිනි නිසා ද සුළි සුළං නිසා ද නොයෙකුත් ප්‍රශ්න ය. සිතන පතන සියල්ල විනාශ වී නොසිතූ කරදර මිනිසාගේ හිස මතට කඩා වැටේ. මේවායෙහි අඩු වීමක් කෙසේ වෙතත් එන්න එන්න ම වැඩි වෙන බවක සේයාවක් පෙනෙන්නට ඇත. සැබෑවට ම සංසාරගත සත්වයාට මේ සියල්ල උරුම ය. එය අරුමයක් නොවේ. ඉපදීම ඇති කල්හි අප අකැමැති වුව ද මේ සියල්ලට ම මුහුණු පාන්නට සිදු වේ. ඉන් ගැලවීමක් නම් නොමැත්තේ ය. නමුත් අප කවුරුත් කරන්නේ ප්‍රශ්නවලට මුල සොයාගෙන විනාශ කර දැමීම නොව එම ප්‍රශ්නවලට පැලැස්තර ඇලවීම ය; තාවකාලික විසඳුම් සෙවීම ය.
වත්මන් ලෝකය බොහෝ සේ දියුණු වී ඇතැයි බොහෝ අය පවසති. “බිය වන්නට කරුණු නැත්තේ ය. දැන් සියල්ල පාහේ දියුණුවේ හිණිපෙත්තට ම ගොස් ඇත්තේ ය.” යැයි ද උගත් යැයි සම්මත තවත් අය ප්‍රසිද්ධියේ ම කියති. ‘තාක්‍ෂණය දියුණු ය. වෛද්‍ය විද්‍යාව දියුණු ය. ප්‍රවාහනය දියුණු ය. සන්නිවේදනය දියුණු ය.’ යන්න ලොව සම්මතය යි. එහි යම් සත්‍යතාවයක් තිබේ. එලෙස ඔවුන් පවසන්නේ පුද්ගයාගේ දියුණුව ගැන නිගමනය කොට නොව හුදෙක් බාහිර දේ කෙරෙහි පවතින දියුණුව දැකීමෙන් ය. නමුත් සැබෑ ම කාරණය නම් ඒ සියල්ල දියුණු වන කල්හී එකී දේ හේතු කොටගෙන ම මිනිසාගේ අභ්‍යන්තරය පිරිහීමෙන් පිරිහීමට ම පත්ව ඇති බව යි. මිනිසුන් ගුණධර්මයන්ගෙන් බොහෝ දුරස් වී ඇත. සිරිත් විරිත්, සීමා මායිම් ඉක්මවා ගොස් ය. එකල්හී අප දියුණු යැයි පවසන බාහිර දෙයින් ඵලක් නැත්තේ ය. හේතුව, ඒ සියල්ල ම මිනිසාගේ උප පරිභෝග වස්තූන් පමණක් නිසාවෙනි. මේ කිසිවකින් අපට පිහිටක්, සරණක් බලාපොරොත්තු විය නොහැක. කෙතරම් දියුණු යැයි කීවත්, මිනිසාගේ මූලික ම බලාපොරොත්තුව වන බොහෝ කල් ජීවත් වීමට ඇති ආශාව හෙවත් දීර්ඝායුෂවත් සඵල කර ගන්නට මිනිසුනට නොහැක. ආයුෂය දිනෙන් දින අඩු වෙමින් පවතී.
මේ ලෝකයේ සියල්ල සැබෑ ලෙස ම අවබෝධ කළේ අපගේ ශාස්තෘන් වහන්සේ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. එබැවින් ද උන්වහන්සේට ‘ලෝකවිදූ’ යැයි කියයි. යම්තාක් අවබෝධ කළ යුතු දේ ඇත් ද ඒ සියල්ල උන්වහන්සේ අවබෝධ කළ සේක. අතට ගත් නෙල්ලි ගෙඩියක් ඕනෑම පැත්තකට හරවමින් බලන්නට හැක්කේ යම් සේ ද උන්වහන්සේට ලෝකයත් එසේ ම ය. දියුණු යැයි කියන මේ ලෝකයේ උදෑසන සොයා ගත් දේ සවස් වන විට වෙනස් වෙයි. සවස තහවුරු කළ දේ උදෑසන වෙනස් වී ගොස් ය. එය යි අද දියුණුවේ තරම. නමුත් භාග්‍යවතුන් වහන්සේ යම් රාත්‍රියක සියල්ල අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූවා ද යම් රාත්‍රියක පිරිනිවන් පා වදාළ සේක් ද ඒ අතරතුර කාලයේ (යං ඒතස්මිං අන්තරේ) යම් දෙයක් පවසන්නාහු ද (භාසති), ප්‍රකාශ කරන්නාහු ද (ලපති) නිර්දේශ කරන්නාහු ද (නිද්දිසති) ඒ සියල්ල ම ඒ අයුරින් ම වන්නේ ය (සබ්බං තං තථේව හෝති). අන් අයුරකින් නොවන්නේ ම ය (නෝ අඤ්ඤථා). අසිරියක් ම ය. එය සැබෑවක් ම නොවේ ද? අද පවත්නේ ද බුදු ඇසින් දුටු ලෝකය නොවේ යැයි කියා කවුරු නම් අභියෝග කරන්න ද?
බෞද්ධයන් වූ අප ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ ගියේ පිහිට පිළිසරණ පතාගෙන ය. අසරණ නොවීම පිණිස ය. සැබෑම සරණ හිමි අපි අසරණ වන්නෝ නොවිය යුත්තෙමු. ඒ සඳහා කළ යුතු එක ම දෙය නම් උන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම යි (සද්දහති තථාගතස්ස බෝධිං). එයට ශ්‍රද්ධාව යැයි කියනු ලබන්නේ ය. ශ්‍රද්ධාව හුදෙක් වචන මාත්‍රයක් නොවිය යුතු ය. එකල්හී සැබෑ ම පිහිට, පිළිසරණ, රැකවරණය ලැබෙන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ අතීතය ද මනාකොට දුටු සේක. එලෙසින් ම වර්තමානය ද අනාගතය ද සක්සුදක් සේ දත් සේක. සංසාරගත සත්වයා විඳින්නා වූ අනේක දුක් කන්දරාව දැක මේ සංසාර ගමනින් නිදහස් වන්නට අප්‍රමාදී වන්න යැයි දේශනා කළහ. උන්වහන්සේ වදාළේ හිස ගිනි ගත් අයෙක් එය නිවන්නට වෙහෙසෙන්නේ යම් සේ ද ධර්මය අවබෝධ කරන්නට ද ඒ අයුරින් ම වෙහෙස විය යුතු බව යි.
අපගේ ශාස්තෘන් වහන්සේ තරම් අප්‍රමාදී බව වර්ණනා කළ කෙනෙක් තවත් නැත්තේ ම ය. උන්වහන්සේ වදාළේ, “පාවලින් ඇවිද යන සියලු සතුන්ගේ පා සටහන් ඇතෙකුගේ පා සටහන තුළට දමන්ට පුළුවනි. අන්න ඒ විදියට යම් ධර්මයක් මෙලොව යහපතත් – පරලොව යහපතත් කියන දෙලොව යහපත සදනවා නම් ඒ සියලු ධර්මයන් අප්‍රමාදය නමැති එක ම ධර්මය තුළට ඇතුලත් කළ හැකියි.” යනුවෙනි. සතර අපා බිය සේ ම අනාගත භයත් බුදු නෙතට වසන් කරන්නට නොහැකි ය. උන්වහන්සේ අනාගත භය දුටුවේ මෙයට වසර දෙදහස් පන්සියයකටත් පෙර ය. එදා බුදු නෙතින් දුටු අනාගත භය කවදා සිදුවන දෙයක් ද?
එයට දෙන්නට ඇති ඍජු පිළිතුර නම් ‘අපි සියල්ලෝ ම අනාගත භයට මුහුණ දෙමින් සිටින්නෙමු.’ යන්න යි. අනාගත භය යනු කුමක් ද? යකඩ කෑලි අටවාගෙන සකස් කර ගත් යන්ත්‍ර සූත්‍රවලින් ලෝකය සොයන්නන්ට මේ භය දැනගත නොහැක. අවබෝධයෙන් තිසරණය සරණ නොගිය, උප්පැන්නයට පමණක් බෞද්ධකම සීමා වූවන්ට ද අනාගත භයක් නොමැත. අනාගත භය දකින්නේ ලොව අතලොස්සකි. ඒ අන් කවරෙක්වත් නොව අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් පමණි. සැබැවින් ම අනාගත භය යනු,  ධර්මයේ හැසිරීමට, පුණ්‍ය ධර්මයන් රැස් කර ගැනීමට, කුසල් දහම් දියුණු කර ගැනීමට අවකාශ ලැබෙන පරිසරය අහිමි වීම යි. මේ මොහොත වන විටත් ඒ පරිසර තත්ත්වයන්ට ලෝකය සැකසෙමින් පවතී. ගත වන සෑම තත්පරයක ම එය සිදු වේ. මිනිසාගේ අභ්‍යන්තර ගුණධර්ම එනම් සීලය, සමාධිය, සිරිත් විරිත්, සදාචාරය, ලැජ්ජා භය ආදිය මේ වන විටත් අවසන් හුස්ම හෙළයි. මරණාසන්න ය. එය ද ඉතිරි වී ඇත්තේ මේ භූමියේ යැයි කිවහොත් එය වැරදි නොවේ. හේතුව මෙහි තවමත් ශ්‍රී සද්ධර්මය නොනැසී පවතින නිසාත්, ඒ ගැන කතා කරන, ඉගෙන ගන්නා ගිහි පැවිදි පිරිසක් සිටින නිසාත්, බුද්ධ අධිෂ්ඨානය නිසාත් ය.
අංගුත්තර නිකාය, පංචක නිපාතයේ ‘අනාගත භය’ සූත්‍ර දේශනාවලදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මෙකල (අදට වසර 2564කට පමණ පෙර) දුර්භික්‍ෂ බිය, රෝග බිය, සොර සතුරු බිය, සංඝයාගේ බිඳීම් ආදී අනාගතයේ සිදුවන දේ නැති හෙයින් අප්‍රමාදී ව, කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිසත්, අත්නොදුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිසත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්‍ෂාත් කිරීම පිණිසත් වාසය කරන්නට සුදුසු ය කියා ය. එම සූත්‍ර දේශනාවල සඳහන් සියල්ල ම මේ වන විට සිදු නොවුණත් බොහෝමයක් සිදු වෙමින් පවතී. කලට වැසි නැත. අකලට වැසි වසී. නිසි පරිදි ගොවිතැන් කටයුතු කිරීමට නොහැක. යහපත් වූ ආහාරපාන අල්ප ය. වයස් භේදයකින් තොරව නොයෙකුත් රෝග උවදුරු හටගනී. සොර සතුරු බිය, ත්‍රස්තවාදී කරදර දිනෙන් දින ඉහළ යයි. ඒ සියල්ලට ම වඩා වේගයෙන් පුද්ගල සන්තානයෙන් ලැජ්ජා බිය ඉවත් වෙයි. මේ දිස් වන්නේ එදා බුදු ඇසින් දුටු අනාගත භය නො වේ ද?
මෙරටින් රුදුරු ත්‍රස්තවාදී බිය පහව ගොස් සුළු කලකින් ම නොසිතූ මොහොතක නැවත එය පැමිණියා නො වේ ද? එකල මිනිසුන් මොනතරම් බියකින් ද වාසය කළේ. දහස් ගණනින් නිබඳව ගැවසෙන රුවන්වැලි මහ සෑ භූමිය හිස්ව ගිය බව අමතක ද? වෙහෙර විහාර වසා දමා ආරක්‍ෂක රැකවල් යොදන්නට සිදු වූවා නො වේ ද? වෙසක් පොහොය දින මලක් පහනක් පත්තු කරන්නට, සිල් ගන්නට තිබූ ඉඩකඩ පවා වැළකුණ බව මතක ද? විහාරස්ථානවලට දන්පැන් පවා නොලැබුණි. භික්‍ෂූන් වහන්සේලා පීඩාවට පත් වී ගියහ. පන්සල් පාළුවට ගියේ ය. නැවත සුනාමි වැනි ව්‍යසන නොඒවි ද? ගංවතුර, නියඟ ඇති නොවේවි ද? කොරෝනා වැනි තවත් වසංගත රෝග ඉදිරියේදී ඇති නොවේවි කියා කවුරුන් ද සනාථ කරන්නේ? එවැනි තත්ත්වයන්ට අපි මුහුණ නොදෙන්නෝ නොවෙමු.
චක්‍රවර්ති සීහනාද සූත්‍ර දේශනාවට අනුව මිනිසාගේ ආයුෂ සියය වන විට අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා දෘෂ්ටිය බොහෝ සේ බලවත් වෙයි. එවිට දෙමාපියන්ට නොසැලකීම, ශ්‍රමණයන්ට ගරු නොකිරීම, ගුරුවරුන්ට – කුල දෙටුවන්ට ගරු නොකිරීම බොහෝ සේ පැතිර යයි. මේ වන විට මිනිසාගේ ආයුෂ සියයට වඩා පහත බැස තිබේ. එසේ නම් මෙකී කරුණු අතිශයින් ම උත්සන්නව ඇත. එය එසේ ම ය. අනාථ නිවාසවල, මහලු නිවාසවල දෙමාපියන් පිරී ඉතිරී ගොසිනි. ගුරුවරු ගෝලයන් නිසා පීඩාවෙන් පීඩාවට පත්ව ඇත.
රාග බහුල සිතින් තැන නොතැන අමතකව ගොස් ය. ලැජ්ජා බය අතුරුදහන් වෙමින් පවතී. ශරීරයේ වසා ගත යුතු තැන් ගැන පවා අවබෝධයක් නැත. පන්සල් යන්නේ ද අසංවර ව ය. ගරු කළයුත්තන්ට ගරු කරන්නට නොදනිති. එම දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ “මිනිසුන්ගේ ආයුෂ දස වර්ෂයක් කල්හී පස් හැවිරිදි කුමරියෝ විවාහ වන්නෝ ය. ගිතෙල්, තල, මී පැණි, පැණි රස, ලුණු රස අතුරුදහන් වන්නේ ය. රොඩු මෙන් වූ ආහාර ප්‍රණීත භෝජන සේ සලකන්නේ ය. දස කුසල කර්මපථ සහමුලින් ම අතුරුදහන් වන්නේ ය. දස අකුසල කර්මපථ අතිශයින් ම ඉස්මතු වන්නේ ය. කුසලය යන නමවත් අසන්නට නොලැබෙන්නේ ය. කුසල් කරන්නන් කොහින් නම් ලබන්න ද?” යනුවෙනි. සිතා බලන්න. මේ වන විටත් මේ සියල්ල සිදු වෙමින් පවතිනවා නො වේ ද?
මහා සුපින ජාතකයේ කොසොල් රජතුමා සිහින දහසයක් දුටුවේ යැයි සඳහන් ය. ඒ සියල්ල අනාගතයේ සිදුවන දේවල් නිසා රජතුමාට බිය නොවන ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළහ. නමුත් දැන් අපි බිය විය යුත්තෙමු. මක් නිසා ද යත්, දැන් ඒ සිහින සැබෑවක් වෙමින් පවතින නිසාවෙනි. දියුණු යැයි ඇතැමෙක් අද පවසන කිසිම දෙයකට මේ කිසිත් වළක්වාලිය නොහැක. ඒ දියුණු යැයි කියන්නා වූ බොහෝ දේ ද උපකාර වන්නේ පිරිහීම පිණිස ම ය, අනාගත භය ඉක්මන් කිරීමට ය. ජංගම දුරකථන, රූපවාහිනී, පරිගණක, අන්තර්ජාලය, අවි ආයුධ තුළින් කරන්නේ එයයි. මේවා පුද්ගල සිත් සතන් දූෂිත කරමින්, රාගය බලවත් කරමින්, ද්වේෂය අවුස්සවමින් මෝහය ප්‍රබල කරන්නේ ය.
කෙසේ වෙතත් අප සියල්ලන්ගේ ම පෙර පිනට ද වාසනාවට ද බුද්ධ අධිෂ්ඨානයට ද අනුව මේ පුණ්‍යභූමියේ තවමත් නිර්මල ශ්‍රී සද්ධර්මය ශේෂ ව පවතී. ඒ ධර්මය කියනා කල්‍යාණ මිත්‍රත්වය නිබඳ ව අපට ලැබේ. නමුත් කොයි මොහොතක හෝ ඒ සියල්ල අභිභවා ඔබේ නිවසේ දොරට ද අනාගත භය තට්ටු කරනු ඇත. එය වළක්වාලිය නොහැක්කේ ම ය. එසේ නම් කළ යුත්තේ කුමක් ද? ඒ සඳහා ඇති එකම විසඳුම නම් අප්‍රමාදය යි. වෙන කිසිදු පිළිසරණක් නොමැත. ධර්මයේ හැසිරෙන්නට, සිල් රකින්නට, දන් පුදන්නට හොඳ ම කාලය අද යි. හෙට හිරුත් සමග අනාගත භයක් නැගී එන්නට පුළුවන. ප්‍රමාදී මාරයාට ඔබ ව යටකර යාමට ඉඩ නොදෙන්න. සතර අපායේ උරුමකරුවෝ නොවන්න. සුගති රැකවරණය සලසාගෙන, බිය සැක නැති පිය උරුමයෙන් ලත් තැන්හි වාසය කරන්න.
“ආයුං ආරෝගියං වණ්ණං – සග්ගං උච්චාකුලීනතං
රතියෝ පත්ථයන්තේන – උළාරා අපරාපරා
අප්පමාදං පසංසන්ති-පුඤ්ඤකිරියාසු පණ්ඩිතා”
“ආයුෂත්, නිරෝගීකමත්, ඇඟපතේ පෙනුමත්, සුගතියත්, උසස් කුලයක ඉපදීමත්, උදාර වූ නොයෙක් ආකාරයෙන් සිත් අලවන්නා වූ දේත් කැමති කෙනා විසින් පුණ්‍ය ක්‍රියාවල අප්‍රමාදී වෙන්න ඕන. නුවණැත්තෝ ප්‍රශංසා කරන්නේ එය යි.”
“අප්පමත්තෝ උභෝ අත්ථේ – අධිගණ්හාති පණ්ඩිතෝ
දිට්ඨේ ධම්මේ ච යෝ අත්ථෝ – යෝ චත්ථෝ සම්පරායිකෝ
අත්ථාභිසමයා ධීරෝ – පණ්ඩිතෝති පවුච්චතීති”
“අප්‍රමාදී වූ නුවණැත්තා මෙලොව යම් යහපතක් ඇත්නම් එයත්, පරලොව යම් යහපතක් ඇත්නම් එයත් කියන දෙලොවේ ම යහපත ලබා ගන්නවා. තමාගේ යහපත ඇති කරගන්නා ඒ වීරියවන්ත කෙනාටයි නුවණැත්තා කියන්නේ.”උපුටා ගැනීම මහාමේඝ සගරාව
administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0