ලොව ගැඹුරුම අගාධය

ගොඩබිම ලොව ගැඹුරුම ස්ථානය, ඇන්ටාක්ටිකාවේ ග්ලැසියරයක් යට සැඟවී ඇත. නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ඇති මෙම ග්ලැසියරය ඩෙන්මන් නමින් හැඳින්වෙයි.
ලෝකයේ විවිධ වූ භූ විෂමතාවයන්ට අනුව විවධ කඳු හා අගාධ නිර්මාණය වී ඇත. මේ අනුව ලෝකයේ උසම ස්ථානය ලෙස හැඳින්වෙන්නේ එවරස්ට් කන්දයි. මෙහි උස දළ වශයෙන් මීටර් 8850ක් පමණ වේ. ලෝකයේ ගැඹුරුම තැන ලෙස දක්වා ඇත්තේ මරියානා ආගාධයයි. මෙය සාගරයේ ඇති ගැඹුරුම ස්ථානයද වේ. මෙහි ගැඹුර මීටර් 11034ක් පමණ වේ. ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද මරියානා ආගාධයේ ගිල්වුවද එම කඳු මුදුන මුහුදු මට්ටමට මීටර් 2133 ක් පහළින් පවතී. මේ අනුව මරියානා ආගාධය කෙතරම් ගැඹුරුද යන්න අප සියල්ලන්ටම වැටහේ. 
මරියානා ආගාධය නිර්මාණය වී ඇත්තේ විශාල සාගර පෘෂ්ඨ දෙකක් එකිනෙක ඝට්ටනය වීමෙනි. මේවා භූ තැටි ලෙසින්ද හඳුන්වයි. මෙම ගැටීම නිසා එක් පෘෂ්ඨයක් අනෙකෙන් ඈතට තල්ලු වී පහළට ගොස් ඇත. මෙලෙස පහළට ගමන් කල පෘෂ්ඨය පෘතුවියේ බාහිර ස්ථරයෙන් යටට කිඳා බැසීමක් සිදු වී ඇත. මෙලෙස ගැටුණු පෘෂ්ඨ දෙකේ ගිලා බැසුණු පෘෂ්ඨය හේතුවෙන් විශාල ආගාධයක් නිර්මාණය වීම සිදු වේ. මරියානා ආගාධය නිර්මාණය වී ඇත්තේ මෙලෙසිනි. මෙහිදී එකට ගැටී ඇති පෘෂ්ඨ දෙක වන්නේ පැසිපික් පෘෂ්ඨය හා පිලිපීන පෘෂ්ඨයයි. පැසිෆික් තැටිය වසර මිලියන 180ක් පමණ පැරණි වේ. පිලිපීන තැටිය පැසිපික් තැටිය තරම් පැරණි නොවේ
මේ ස්ථානය භූ විද්‍යාඥයන් විසින් හඳුන්වා දෙන්නේ කැනියමක් ලෙසය. කැනියමක් යනු උස් බෑවුම් සහිත පටු, ගැඹුරු නිම්නයකි. එසේත් නැතිනම් ගැඹුරු දොරුවකි. මෙම කැනියම අඩි 11,616 ක් ගැඹුරුය. සැතපුම්වලින් නම් 2.2 කි.
භූ විද්‍යාඥයන්ට මෙම කැනියම හමුවූයේ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු අතරේ කඳු සහ නිම්න ආදිය සිතියම් කරද්දීය. ඒ සඳහා පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකා ද යොදා ගැණුනි.
ඇන්ටාක්ටිකාව නමැති අයිස්වලින් මිදුණු මහත්වීපය නිර්මාණය වූ ආකාරය සහ එහි අනාගතය සම්බන්ධයෙන් කරුණු කාරණා රැසක් නිර්ණය කර ගැනීමට මෙම සිතියම්ගත කිරීම වැදගත් බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
‘මේක සුවිශේෂී මෙන්ම වැදගත් සොයා ගැනීමක්. ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුවලට යටින් ඇත්තේ කුමක්දැයි අපට දැනගන්න ලැබුණා.’ යැයි වසර 6 ක් තිස්සේ අයිස් තට්ටු සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින මැතිවු මොර්ලිගම් පවසා ඇත. මැතිවු මොර්ලිගම්, ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකි.
මරියානා ආගාධය පිහිටා ඇත්තේ බටහිර පැසිපික් සාගරය තුළයි. මෙහි දිග සැතපුම් 1580ක් පමණ වන අතර පළල සැතපුම් 43ක් පමණ වේ. මරියානා ආගාධය සඳහා නම ලැබී ඇත්තේ මරියානා දූපත් නම් කිරීමෙන් පසුවයි. මෙම ආගාධය අර්ධ කවාකාර හෝ අඩ සඳක හැඩයක් ගනී. විද්‍යාඥයින්ට අනුව මෙය නිර්මාණය වී ඇත්තේ පෘතුවි පෘෂ්ඨය සාගර තලයෙන් ඉහළට එසවීමෙනි.
මරියානා ආගාධයේ ගැඹුර මුලින්ම මැනීම සිදු කරන ලද්දේ වර්ෂ 1875 වසරේදීය. ඒ ශබ්ද තරංග උපයෝගී කර ගනිමිනි. ඉන් පසු මෙහි ගැඹුර මනින ලද්දේ 1899 වසරේදීය. මෙයද සිදු කරන ලද්දේ ශබ්ද තරංග උපයෝගී කර ගනිමිනි. 1957 වසරේදී සෝවියට් පර්යේෂණ නැවක් විසින් මෙහි පෙර සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් ගැඹුරට වඩා ගැඹුරක් ඇති බව සොයා ගන්නා ලදි. ඔවුන් වාර්තා කළ ගැඹුර වන්නේ මීටර් 10,990 කි. මීට පසු නවීන තාක්ෂණයත් සමඟ අඛණ්ඩව මෙහි ගැඹුර මැනීම සිදු කරන ලද අතර වර්තමානය වන විට මෙහි ගැඹුර මීටර් 11034ක් බව සොයාගෙන ඇත.
සාගර තලයේ ඇති මරියානා ආගාධ කොටසේ උණුසුම් ජල විවර දක්නට ලැබේ. මෙම විවර තුළින් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි ඛනිජ වර්ග නිකුත් කරයි. මරියානා ආගාධයේ උෂ්ණත්වය ඉතා පහළ  අගයක පවතී. මෙහි පීඩනය සාමාන්‍ය මුහුදේ පීඩනය මෙන් දහස් ගුණයක් පමණ වේ. මරියානා ආගාධයේ පතුල කහ පැහැයට හුරු පැහැයක් ගනී. ඊට හේතුව දිරාපත් වූ සත්ව කොටස්, ශාක කොටස්, කවච ආදිය නිරන්තරයෙන් එහි තැන්පත් වී තිබීමයි.
මරියානා අගාධයේ ඇති අධික ගැඹුර නිසා මෙය දැඩි කලුවරකින් හා ශීතලකින් යුතු වේ. මිට අමතරව මෙහි ජලයේ පීඩනයද අධිකව පවතී. මරියානා ආගාධයට මේ වන තුරුම ගමන් කර ඇත්තේ එක් වාරයක් පමණි. ඒ වර්ෂ 1960 දී Jacques piccard හා Don Walsh නමැත්තන් විසිනි. පැය පහක කිමිදුමක නිරත වූ මොවුන්ට ගැඹුරු ප්‍රදේශ වල ඡායාරූප ගැනීමට නොහැකි විය. ඊට හේතුව රොන් මඩ හේතුවෙන් එම ප්‍රදේශය අපැහැදිලි වී තිබීමයි. මොවුන් කිමිදෙන තුරු විද්‍යාඥයින්ට තිබූ එක් ගැටලුවක් වුයේ මෙතරම් ගැඹුරු ස්ථානයක ජීවින් සිටිය හැකිද යන්නයි. මෙම ඉතිහාසගත කිමිදීමෙන් අනතුරුව එතරම් ගැඹුරක පවා ජීවින් ඇති බවට විද්‍යාඥයින් සොයා ගන්නා ලදී.
මෑතකදී කරන ලද පරීක්ෂණ වලට අනුව මරියානා ආගාධයේ විවිධ වූ ජීවින් වාසය කරන බව සොයාගෙන ඇත. මෙහි ගැඹුරුම කොටස් වල ජිවත් වන සතුන් දැඩි පීඩනයකින් හා ඝන කළුවරේ ජිවත් වේ. Scripps ආයතනයේ ඉගනුම ලබන Gallo සිසුවා ප්‍රකාශ කර ඇති ආකාරයට මරියානා ආගාධයේ ආහාර ඉතාමත් සීමිත වේ. ගස් කොළ හා පැළෑටි අතරින් මෙම ප්‍රදේශයට ළඟා වීමට විශාල දුරක් පහළට ගමන් කළ යුතු වේ. මේ හේතුවෙන් මෙහි සිටින ඇතැම් ක්ෂුද්‍ර ජීවින් මීතේන්, සල්ෆර් වැනි රසායනික ද්‍රව්‍ය මත යැපේ.
මරියානා ආගාධයේ දැකිය හැකි සුලභ ජීවින් කොට්ඨාශ තුනක් වන්නේ xenophyophores, amphipods හා holothurians ය. මීට අමතරව මෙහි පතුලේ ඇති මඩ තට්ටු වල ක්ෂුද්‍ර ජීවින් වර්ග 200ක් පමණ ජීවත් වන බව සොයා ගෙන ඇත. අවාසනාවකට වර්තමානයේදී ගැඹුරු මුහුද මිනිසුන්ගේ අපද්‍රව්‍ය එක් රැස් වන තැනක් බවට පත් වී ඇත. පරීක්ෂණ වලින් හෙළි වී ඇති ආකාරයට 1970 වසරේදී තහනම් කරන ලද මිනිසා නිපද වූ විවිධ රසායනික ද්‍රව්‍ය තවමත් මෙම ගැඹුරු මුහුදු ප්‍රදේශ වල සැඟ වී ඇත.