ශ්‍රී ලංකා පිළට අද බලාපොරොත්තු සහගත දිනයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට එක්වීම සඳහා ශ්‍රී ලංකා පිළට අද බලාපොරොත්තුසහගත දිනයක්.
ඒ, එංගලන්තයේ ඓතිහාසික රෝම අධිරාජ්‍ය නගරයක් වන චෙස්ටර් – ලෙ – ස්ට්‍රීට් හිදී දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟය හේතුවෙන්.
ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා අද තරඟය මෙන්ම කොදෙව්වන් සහ ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟ ද ජය ගැනීම අවශ්‍යතාවක්. එංගලන්තය අභිබවා 4 වන කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා බංග්ලාදේශය සහ පාකිස්තානය ද උත්සාහයක නිරත වනවා.
කෙසේ නමුත්, ප්‍රබල එංගලන්ත පිළ පැරද වූ ශ්‍රී ලංකා පිළට ඉදිරියට යාම සඳහා අද තරඟය ජය ගැනීම තීරණාත්මක වනු ඇති.
මේ වන විට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිද වැටුණු දකුණු අප්‍රිකාව සිය කීර්ති  නාමය උදෙසා ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
මේ අතර,  ඊයේ පැවති ලෝක කුසලාන තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් පිළ පරදවා ලකුණු 125ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිළ සිය පන්දු වාර 50 තුළ දී කඩුලූ 7ක් දැවී ලකුණු 268ක් රැස් කළා.
පිළිතුරු වශයෙන් කොදෙව් පිළට පන්දු වාර 34යි පන්දු දෙකකදී සියළු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිළට මෙවර අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වනවා.