ශ්‍රී ලංකාවේ සිටි අවසන් අලි ගාලේ හිමිකරු ඒ. එෆ්. මොලමුරේ

මෙරට ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායකවරයා වන්නේ සර් ඇලෙක්සැන්ඩර් ප්‍රැන්සිස් මොලමුරේ හෙවත් ඒ. එෆ්. මොලමුරේ යි.
සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1947 මැතිවරණයෙන් පසු මෙරට ඇති වූ පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායක බවට පත්වෙන ප්‍රැන්සිස් මොලමුරේ ඊට පෙර පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායක ලෙස ද කටයුතු කරනවා.
කතානායක ධූරයේ සිටිය දී ම එනම්, පාර්ලිමේන්තු වේලාවක දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත්වෙන ප්‍රැන්සිස් මොලමුරේ, ලංකාව පුරා ප්‍රසිද්ධ වීමට තවත් එක් කරුණක් තදින් බලපානවා.
ඒ, එම කාලයේ සමාජ විවාදාත්මක කාරණයක් වූ පනාමුරේ ඇත්ගාලේ හිමිකරු වීම යි. ඇත්ගාලේ සිටි පනාමුරේ අලියාව වෙඩි තබා ඝාතනය කිරීමට අණ ලබා දෙන්නේ එහි හිමිකරු වෙන ප්‍රැන්සිස් මොලමුරේ යි. ඒ හේතුවෙන් ඔහුට මහත් ජන අප්‍රසාදයකට ලක් වීමට සිදුවෙනවා.
පසුව අලිගාල වසා දැමීමට සිදුවෙන අතර, ලංකාවේ සිටි අවසන් අලි ගාලේ හිමිකරු බවට ප්‍රැන්සිස් මොලමුරේ පත්වෙනවා.
ප්‍රැන්සිස් මොලමුරේ
මඩුවන්වෙල පරපුරේ සාමාජිකයෙක් ලෙස රත්නපුරයේ දී උපත් ලබන ඔහු, මූලික අධ්‍යාපනය නිම කරන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්.
1924 වසරේ දී කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වෙන ඔහු, එම කාලසීමාවේ දී උසස් අධ්‍යාපනය සඳහා ආණ්ඩුකාරවරයා විසින් පත්කරන ලද කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා.
ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාවේ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරීමට ද ප්‍රැන්සිස් මොලමුරේට අවස්ථාව හිමි වෙනවා. ඒ, දැදිගම ආසනය නියෝජනය කරමින්. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායක වීමට අවස්ථාව හිමිකර ගන්නා අතර, දෙවන රජය මන්ත්‍රණ සභාවට පත් වීමට ද ප්‍රැන්සිස් මොලමුරේට අවස්ථාව ලැබෙනවා.
ඉන්පසු ව, 1947 වසරේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බලන්ගොඩ ආසනයෙන් පත්වෙන ඔහු, පාර්ලිමේන්තු කතානායක බවට පත්වන්නේ යෝජනා වූ අනෙක් මන්ත්‍රීවරයාට වඩා වැඩි ඡන්ද 17ක් ලබා ගනිමින්.
Panamure Ath Raja
ඉංග්‍රීසින් මෙරට පාලනය කළ යුගයේ මඩුවන්වෙල කලු කුමාරයා නමින් හැඳින්වූ කොළොන්නේ මඩුවන්වෙල දිසාවේගේ දේපළට හිමිකම් කියූ ප්‍රැන්සිස් මොලමුරේ, ඔහුගේ අලි ගාල්වල අයිතිකරුවා බවට පත්වෙනවා.
මෙම පරපුරට ඇත්ගාල් කිහිපයක් ම පැවති අතර, වනයෙන් අල්ලාගන්නා ලද අලි හා ඇතුන් ඇත්ගාල් වෙත රැගෙන ඇවිත් හිලෑ කර පසුව විකිණීම හා දේශීය විදේශීය ප්‍රභූවරුන්ට ත්‍යාග වශයෙන් ලබා දීම සිදු කරනවා.
පනාමුරේ ඇත්ගාල විදෙස් රටවල පවා ප්‍රසිද්ධියට පත් වී තිබූ අතර, ප්‍රැන්සිස් මොලමුරේගේ විදෙස් මිතුරන් ඇත්ගාල නැරඹීමට නිතර පැමිණි අතර, ඔවුන් වෙනුවෙන් නැරඹුම් අට්ටාල හා නවාතැන් ද ඇත්ගාලට අසලින් ඉදිකිරීමට මොහු කටයුතු කරනවා.
ඇත්ගාල අද දිස්වෙන අයුරු
පනාමුර ප්‍රදේශයේ පිහිටි ඇත්ගාලේ හිලෑ කරගැනීමට නොහැකි වූ සද්ධන්ත හස්තියෙකුට වෙඩි තබා මරා දමන ලෙස වරෙක ප්‍රැන්සිස් මොලමුරේ විසින් අණ කරනවා. ඒ 1950 වසරේ අගෝස්තු මාසයේ දී යි. “පනාමුරේ ඇත්රාජා” ලෙස මෙම හස්තියාව හැදින්වූව ද, එම සතා ඇත්තට ම කෙනරක්.
වෙඩි වැදුණු කෙනර පනාමුරේ ඇත්ගාලේ දී මරණයට පත්වෙන අතර, මෙම ක්‍රියාව “පනාමුරේ ඇත්රාජා ඝාතනය” නමින් ලංකාව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්වෙනවා. මේ හේතුවෙන් දැඩි ජනතා අප්‍රසාදයක් ප්‍රැන්සිස් මොලමුරේ වෙත එල්ල වෙනවා.
දේශපාලන විරුද්ධවාදීන් විසින් මෙම ක්‍රියාව පිළිබඳ ව අත්පත්‍රිකා පවා මුද්‍රණය කර ජනතාව වෙත බෙදා හරින අතර, ඇත්ගාල් පවත්වාගෙන යාම හා කෙනරකට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ ව ඔහුට පාර්ලිමේන්තුවේ දී ද දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල වෙනවා.
එවකට විපක්ෂයේ සිටි ඇන්. ඇම් පෙරේරා, විද්වතෙක් ලෙස මෙරට පතළ වූ ගුණපාල මලලසේකර ඇතුළු තවත් ක්‍රියාකාරීන් පිරිසක් මේ පිළිබඳ ව දැවැන්ත කතිකාවතක් සමාජය තුළ නිර්මාණය කරනවා. ඒ හේතුවෙන් ලංකාවේ ඇතුන් හෝ අලි ගාල් පවත්වා ගැනීමත්, වල් අලි ඇල්ලීමත් තහනම් කරමින් නව නීතියක් නිර්මාණය වෙනවා. ඒ අනුව ලංකාවේ පැවති අවසාන ඇත්ගාලේ හිමිකරු වන්නේ ප්‍රැන්සිස් මොලමුරේ යි.
1951 වසරේ ජනවාරි මාසයේ පාර්ලිමේන්තු සභා ගර්භයේ මන්ත්‍රිවරුන් රැස් වී සිටින අවස්ථාවක දී ප්‍රැන්සිස් මොලමුරේ සිහි විසඥ ව තම කතානායක අසුනේ ම ඇදගෙන වැටෙනවා.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීයා හා තවත් නිලධාරීන් පිරිසක් විසින් ඔහු ව ක්ෂණික ව සභා ගැබෙන් ඉවතට රැගෙන යන අතර, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවා. ඉන් දිනකට පසුව සිහිය නොලබා ම ඔහු ජාතික රෝහලේ දී මිය යනවා. මරණයට හේතු වී ඇත්තේ හදිසියේ ඇති වූ හෘදයාබාධයක් බව පසුව අනාවරණය වෙනවා.
ඔහු හෘදයාබාධය වැලඳී කතානායක පුටුවේ වැටී සිටියේ, වෙඩි වැදී වැටී සිටිය පනාමුරේ අලියාට සමාන ආකාරයකින් බව ඔහුගේ විරුද්ධවාදී මන්ත්‍රීවරු සඳහන් කරන අතර, ඔහු විසින් කළ අපරාධයට දඬුවම ලැබුණු බවත් ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කරනවා.
උපුටා ගැනීම : roar.media