ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.

පළමු තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල මෙම තරඟයට පිවිසෙන්නේ ද නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහගේ සහභාගිත්වයෙන් තොරවයි.

ඔවුන්ට මෙම ටෙස්ට් තරඟය මෙන්ම දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟ 5 න් 4 කට සහභාගි වීමේ අවස්ථාවද අහිමි වනවා.

ඒ කොදෙව් චාරිකාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිකළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

අද ආරම්භ වන ටෙස්ට් තරඟයේදී ද ශ්‍රී ලංකා පිල සුරංග ලක්මාල් විසින් මෙහෙයවනු ඇති.

මෙම තරඟයේදී තවත් ලකුණු 3 ක් රැස් කරගතහොත් හෂිම් අම්ලා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 9000 සම්පූර්ණ කළ තුන්වන ක්‍රීඩකයා බවට පත්වනු ඇති.

ඇන්ජලෝ මැතිව්ස්ට සිය ටෙස්ට් ලකුණු 5000 සම්පූර්ණ කිරීමට අවශ්‍ය ලකුණු 8 මෙම තරඟයේදී රැස් කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එසේ වුවහොත් ඔහු එම ඉලක්කය කරා ළඟා  වූ 9 වන ශ්‍රී ලංකා ක්‍රිීඩකයා බවට පත්වනු ඇති.