• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

මොළයට ගිය කූඩැල්ලා නහයෙන් ගත් පොතුවිල හාමුදුරුවෝ

මොළයට ගිය කූඩැල්ලා නහයෙන් ගත් පොතුවිල හාමුදුරුවෝ

සිංහල ආයුර්වේද ශාස්‌ත්‍රයේ යම් ලෙඩෙකුගේ සිරුරේ පවතින විෂ ලේ, කුණු ලේ ඉවත් කරන්නට කූඩැල්ලන් යොදාගත් බව ප්‍රකට කාරණයකි. සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ කූඩැල්ලන්ට වඩා එවන් විෂ ලේ ඉවත් කිරීමට යොදා ගනු ලබන්නේ ප්‍රමාණයෙන් ලොකු මීහරක්‌ කූඩැල්ලන් ය.

ඒ සමගම කූඩැල්ලන් මාර්ගයෙන් තව තවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලට යොදා ගනු ලබන කටයුතු පිළිබඳ තොරතුරු කිහිපයක්‌ පසුගියදා පත්තරයක තිබී කියෑවූවාට පසුව මෙයට දශක පහකට පමණ ඉහතදී අප නිවසේදී වැඩිහිටියන් කිහිපදෙනකු වෙතින් ආගිය තොරතුරු හා විස්‌මිත තොරතුරු කතාබහ කරනවිටද කියෑවුණු කූඩැල්ලන් පිළිබඳ කතා අපගේ මතකයට ආවේ නිතැතින්මය.

එයින් ප්‍රධාන කොට එකල ද දැනුදු ප්‍රචලිත මහා වෛද්‍යවරයාණ හිමිනමක්‌ව විසූ පොතුවිල ඉන්දරතන නාහිමියන් පිළිබඳවය. සිරිලක දකුණුකරේ වන්නට පැරණි විහාරස්‌ථානයක අධිපතිව වැඩවාසය කළ පොතුවිල නායක හාමුදුරුවෝ තමන්ගේ පවුලේ ගිහි වෙද පරම්පරාවෙන් පැවැති ආ වෛද්‍යකර්මය පැවිද්දකු වශයෙන් දියුණු කර ගනිමින් එකල සමහරුන් විස්‌මිත කර වූ වෙදකම් ද කරවූ බවද ප්‍රචලිතය ය.

තම නාසයෙන් ගලා හැලෙන ලේ බිඳු සහිතව අවුරුදු ගණනාවක්‌ම පීඩා විඳි නැවියකු කොළඹ ජැටියේ නැව නැවැත්වූ විටකදී කුලී රථ රියෑදුරෙකුගෙන් පොතුවිල හාමුදුරුවන්ගේ වෛද්‍ය දස්‌කම් අසා විහාරස්‌ථානයට පැමිණියේය. වෙදකම් ලබා ගැනීම සඳහා පන්සලට සුද්දකු, පැමිණ ඇතැයි යන ආරංචිය නිසා මෙහිදී ළඟ අහළ පහළ මිනිසුන් පන්සලට ඒකරාශී විය.

එකල ඉංග්‍රීසි භාෂාව ද මැනවින් හදාරා සිටි පොතුවිල නායක හාමුදුරුවෝ ප්‍රථමයෙන් මේ සුදු නිලධාරියාගෙන් තමන්ට වන් ව්‍යාධිය පිළිබඳව මූලික තොරතුරු විමසා සිටියහ.

ඔහුට තිබුණේ දහවල කිහිප විටකම බලවත් සේ හිස රුජාවක්‌ ඇතිවී ඉන්පසු නාසයෙන් ලේ බිඳු කීපයක්‌ ගලා වැටීමයි. මෙය උදේ දහවල කිහිපවිටක්‌ම සිදුවන බවත් එම අවස්‌ථාවලදී තමන්ට දරාගත නොහැකි තරම්ම හිසේ බලවත් වේදනාවක්‌ ඇති වන බවත් සුද්දා නොපැකිලිවම නායක හිමියන් සමග කියා සිටියේය.

“තමන් මේ සිද්ධිය සිදුවන්නට පෙර ගංගා ඇලදොළවල නාලා තියෙනවද?” යි සුද්දාගේ කතාවෙන් පසු පොතුවිල නාහිමියන් ඇසූ පළමුවැනි ප්‍රශ්නය ය.
“ඔව් නාලා තියෙනවා. ඊට පස්‌සේ තමා මට මෙහෙම දෙයක්‌ ඇති වුණේ” යි ඔහු කියා සිටියේ ය. “විශේෂයෙන්ම මුහුණට හිරු රශ්මිය වැටුණවිටදි නේද හිසේ වේදනාව ඇතිවෙලා ලේ ගලන්නට වන්නේ? යි ඉන්පසුව නාහිමියෝ විමසූහ.

“ඔව්, එහෙම තමා වෙන්නේ·”
මේ අවස්‌ථාව උදේ වරුවය. එහෙයින් ඉන්පසුව නාහිමියන් කිහිපදෙනකුට කීවේ පන්සල මිදුලේ අඩි පහක හයක පමණ වූ කණුවක්‌ සිටුවන ලෙසටය. කවුරුත් ඒ අසා විස්‌මයට පත් වූහ.

“දැන් ඉතින් ඔබ ඔය කමිසයත්, කලිසමත් ගලවන්න” යෑයි නාහිමියෝ සුද්දාට කීහ. තරමක්‌ අදිමදි කරමින් ඔහු එයට අවනත විය. දැන් සුද්දාගේ ඇඟේ ඇඳුමකට ඇත්තේ යට ඇඳුම – පමණය. අසල සිටි මිනිසුන් ද නායක හාමුදුරුවන් සුද්දාට ප්‍රතිකාර කරන්නට මෙසේ කමිස කලිසම් ගැලවූයේ මන්දැයි සිතා ගන්නටද බැරිව විමතියෙන් බලා සිටිති.

“ඔය ලනු කැරලි දෙකක්‌ මෙහාට ගෙනෙනවා. ගෙනැල්ලා මේ සුද්දා කණුවට තියලා අත්දෙක පිටුපසට තියලා බඳිනවා හොඳයි.” යනුවෙන් උන්වහන්සේ කීහ. සේවකයන් කී ලෙසම කටයුතු කළහ. මෙසේ සුද්දා කණුවට තබා කිටිකිටියේ බඳින ලද්දේ ඔහුගේ මුහුණ ඉරඑළිය වැටෙන සේ ඉරට මුහුණපා තිබියදීය.

කවුරු කවුරුත් නාහිමියන් කරන්නේ කුමක්‌දැයි සිතාගත නොහැකිව බලා සිටියදී සුද්දාගේ මුහුණිනුත්, ඇඟෙනුත් දහඩිය ගලා හැලෙන්නට වන . ඉර එළිය මුහුණට ම වැටෙන නිසා එය ඉවසා දරාගත නොහැකිව සුද්දා කෑගහන්නට වූයේ මෙවිටය. නාසයෙන් ලේ බිඳු ගලා හැලෙන්නට ද විය.

මෙහිදී නායක හිමියන් පන්සල ඇතුළට වැඩම කර සුද්දා වෙත ගෙන ආයේ කිරි පීරිසියකි. එම කිරි පීරිසිය සුද්දාගේ ලේ ගලා එන නාසය අසළට ළං කළ අවස්‌ථාවේදී වේදනාව තරමකට හෝ ඉවසා ගෙන සුද්දා කෑගැසීම නතර කර වෙන්නට යන්නේ කුමක්‌දැයි තමන්ද දැනගත යුතුය යන විලාසයෙන් බලා සිටියේය.

ගතවූයේ තවත් සුළු වේලාවක්‌ පමණකි. සුද්දාගේ ලේ බිඳු ගලා වැටෙන නාස්‌ පුඩුවක්‌ දිගේ ඇදී ආ කළු යමක්‌ කිරි පීරිසියට වැටුණේය. නාහිමියෝ ජයග්‍රාහී සිනාවක්‌ මුහුණට නඟාගත්හ.
ඉන්පසුව, “ආ දැන් ඉතින් සුද්දාව ලෙහෙලා දානවා”යෑයිද කීහ. තම හිසේ වූ වේදනාව සමනය වූ හෙයිනුත් සුද්දා ඇතුළු කවුරුත් විමසිලිමත් වූයේ එසේ නාසයේ සිට කිරි පීරිසියට වැටුණ කළු බඩුව කුමක්‌දැයි සොයා බලන්නටය.

නායක හාමුදුරුවෝ ප්‍රථමයෙන් ඒ ගැන සුද්දාට ඉංගී්‍රසියෙන් ද රැස්‌වී සිටි ජනයාට සිංහලෙනුත් කරුණු පැහැදිලි කර දුන්හ.

“සුද්දා ඇලකින් හෝ දොළකින් නාන්නට ගිය අවස්‌ථාවකදී කූඩළු පැටියෙක්‌ නාසයෙන් මොළයට ගිහිල්ලා තියෙනවා. ඒකා විටින් විට හපනවා. එතකොට තමා මෙහෙම ලේ බින්දු හැලෙන්නේ. විශේෂයෙන්ම කූඩැල්ලා හපන්නේ ඉරු රශ්මිය වැටෙන කොටයි.

මේ සුද්දාට සිදුවෙලා තියෙන විපත්තිය කිසි රටක කිසිම වෛද්‍යවරයකුට සොයා බලා අල්ලා ගන්න හම්බ වෙලා නැහැ. මම ඔහු සමග කතාවෙනුයි ඒක අල්ලා ගත්තේ. ඒ නිසාම තමා මෙහෙම ඇඳුම් ගලවලා ඇඟට, මුහුණට හිරු රස්‌මිය වැටෙන ලෙස බැඳලා තිබ්බෙ.

එයින් දහඩියගලා කැළඹුණු සුද්දාගේ ඔළුවේ මොළයේ රැඳී සිටි කූඩැල්ලාත් වෙනදා වගේම කලබලවෙලා හපන්නට ගත්තා. එතකොට තමා ලේ බිඳු ගලන්නේ. මම කළේ ඒ කූඩැල්ලාට නහයෙන් පිටතට එන්නට කිරි සුවඳ යොමු කළ එක විතරයි. මේවා පොතේ ලියවිලා තියෙන වෙදකම් නොවෙයි.                                   

වේලාවේ හැටියට, ලෙඩාගේ තත්ත්වයේ හැටියට ලෙඩේ ඇතිවුණු හැටි හොයලා බලලා කරන හිතේ වෙදකම්- ” යනුවෙන් ගම්මුන්ගේ සැක දුරු කර ගැනීම සඳහා පොතුවිල නායක හාමුදුරුවෝ කූඩැල්ලා පිටතට ගත් හැටි කියා සිටියහ. නායක හිමියන්ගේ වෙදකම් හැටියට ඔවුන් තවත් වරක්‌ විස්‌මයට පත් වීමේ අවස්‌ථාවක්‌ද ලැබිණ.

සුද්දාට ද සතුටේ නිමක්‌ නැත. තමන්ට මහත් සේ දුක්‌ දෙමින් අවුරුදු ගණනාවක්‌ම වින කළ කූඩැල්ලා සඳහටම සිරුරෙන් අරන්දමා දිවැසින් දුටුවා සේ පොතුවිල හාමුදුරුවන් කළ වෛද්‍යකර්මය නිසා සුවපත් වූ ඔහු කළේ තමන් වෙත වූ රත්තරන් පවුම් දහයක්‌ම උන්වහන්සේ වෙත පූජා කර සිටීමයි.

එහෙත් නායක හාමුදුරුවන් එයින් ගත්තේ රන් පවුම් තුනක්‌ පමණි. පසුව කිරි පරිසියේ සිටි කූඩැල්ලා ද ඔහුට පෙන්වූහ.

“මේ ඇත්තෙන්ම, සල්ලි බලාගෙනම කරන වෙදකම් නොවෙයි”. යනුවෙන් උන්වහන්සේ කීම ගැන සුද්දාට ද පුදුමය. එතැනට පැමිණි සිංහලයන් කිහිපදෙනකු නායක හාමුදුරුවන්ට දණ ගසා වඳිනු දුටු සුද්දා ද කළේ උන්වහන්සේ හමුවේ දණ ගසා වැඳ නමස්‌කාර කිරීමයි. “පස්‌සේ ඉස කැක්‌කුම එහෙම හැදුනොත් මේ බෙහෙත් තෙල හිසේ ගානවා හොඳයි” යනුවෙන් උන්වහන්සේ ඉන් අනතුරුව කුඩා තෙල් බෝතලයක්‌ ද සුද්දාට දුන්හ.

තමන් මෙසේ පන්සලට එක්‌කගෙනැවිත් ලෙඩේ කඩා දමන්නට මුල් වූ කුලී රථ රියෑදුරාට ද, සුද්දා නියමිත ගාස්‌තුව ගෙවා අතිරේක වශයෙන් රන් පවුමක්‌ද දුන් බව පසුව හෙළි විය.

ඔය කියෑවුණේ අපේ සිංහල වෛද්‍යකර්මයේ එක්‌ විස්‌මිත අවස්‌ථාවකි.

 

උපුටා ගැනීම 

සෝමසිරි කස්‌තුරිආරච්චි

Related Articles