what is stroke ආඝාත රෝගයෙන් වළකිමු ( Video )

ඔබ දන්නවාද?  “ලංකාවේ සෑම සියයකින් කෙනකු ම ආඝාත රෝගියෙක් (Stroke)‌” ආඝාත සංගම් සභාපති – වෛද්‍ය රිෆ්සි කියයි මෙරට පමණක් නොව මුළු ලෝකයේම හැම හය දෙනකු ගෙන් ම එක්‌ අයකු ජීවිත කාලය තුළ එක්‌ වතාවක්‌ හෝ ආඝාතයට ගොදුරු වී ඇත.
ආඝාතය රෝගය යනු  අධි රුධිර පීඩනය නිසා රුධිර නාල අවහිර වී හෝ රුධිර නාල පුපුරා යැමෙන් සිදුවන මොළයට වන බලපෑමක්. මෙය ඉතාමත් භයානක රෝගයක්. රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ මරණවාට හේතුවන තෙවැනි කරුණ වන්නේ ආඝාතයයි 
ආඝාතයක් ඇවිත් පැය තුනක්‌ ඇතුළත රෝගියකු රෝහලකට ගෙන ඒම අනිවාර්ය බව මුලදී කියවුණත් ඒ කාලය පැය 4 1/2 දක්‌වා දීර්ඝ වුව ද ජීවිතය බේරාගත හැකි බව දැන් හොයාගෙන තියෙනවා.
 
කොහොම උනත් ඉක්‌මනටම ප්‍රතිකාර වලට යොමු කිරීම රෝගියා ගේ යහපතට හේතු වෙනවා. මිනිසුන් පපුවෙ අමාරුවක් (heart attack)‌ හැදුනු ගමන් ඉක්‌මනට ම ප්‍රතිකාර ගන්න යොමු වුනත් ආඝාතය ගැන ඒ උනන්දුව මිනිස්සු ගාව නැහැ. ඒකට හේතු කිපයක්ම‌ තියෙනවා. පපුවේ අමාරුවෙන් අපිට විශාල වේදනාවක්‌ දැනෙනවා.
 
හැබැයි ආඝාතයෙන් ඒ වගේ වේදනාවක් දැනෙන්නේ‌ නැහැ. ඒ වගේ ම අද කාලේ බොහෝ දෙනෙක්‌ පපුවේ අමාරුව ගැන දැනුවත්. හැබැයි ආඝාතය ගැන ඒ විදිහට දැනුවත් නැහැ.ලංකා ආඝාත සංගමය උත්සාහ කරන්නේ මෙරට ජනතාව මේ ගැන වැඩි වැඩියෙන් දැනුවත් කරමින් මේ මාරක සතුරා ගෙන් රෝගීන් ගලවාගන්නයි.
 
මේ ආඝාතය සමහර අවස්‌ථාවන්හි දී “බ්‍රේන් ඇටෑක්‌” (brain attack) ලෙස ද හැදින්වේ. මොළයට රුධිරය ගලාගෙන යාම අඩාළ වීමෙන් තමයි ආඝාතය ඇති වෙන්නෙ.එහෙම වුනාම මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙලා රෝගියාට අංශභාග තත්ත්වයක්‌ ඇති වීම වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පහත ලක්ෂණ වලින් එකක් වුනත් ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය රිෆ්සි පවසන්නේ කෙනකු තුල පහත දැක්‌වෙන ලක්‌ෂණ තුන අතරෙන් එකක්‌ හෝ පවතින්නේ නම් වහා ම සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතු බවයි.
 
(1) මුහුණේ පැත්තක්‌ එල්ලා වැටීම හෝ ගල් ගැසී තිබීම වැනි දෙයක්‌. (face drooping පහතට එල්ලා වැටීම) මෙය රූපයේ පෙන්වා තිබේ. එවැනි විටක රෝගියාට හිනාවෙන්න කියන්න තොල්/සිනහව අසමමිතික නම් සැලකිලිමත් වන්න.
 
(2) අතක්‌ ප්‍රබල ලෙස දුර්වල වන්නේ නම් අනතුරු/අවදානම් ලකුණකි. අත් ඔසවන විට ගැටලු මතු වේ නම් සැලකිලිමත් වන්න.
 
(3) කථන ගැටලු – වචන පැටලීම හෝ ගොත ගැසීම සිදු වේ නම් සැලකිලිමත් වන්න. වාක්‍යයන් කියා රෝගියාට එය පුනරුච්චාරණය කරන්නැයි කියන්න. එය නිවැරදි නො වන්නේ නම් අනතුරුදායක ලකුණකි.

වැඩි වශයෙන් ආඝාතයට ගොදුරු වන්නේ පිරිමින්. කාන්තාවන් ගොදුරුවීම සියයට42.6%. පිරිමි පක්ෂය සියයට 57%ක්. ප්‍රධාන සාධකය වන්නේ අධි රුධිර පීඩනයයි. දුම් බීම, මද්‍යසාර පානය, ව්‍යායාම මදිකම, දියවැඩියාව, කොළොස්ට්‍ර රෝල් යන කාරණා බලපානවා. වැරදි හා සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාව තව ප්‍රධාන හේතුවක් වේ.
ඔබ අසල සිටින්නකු ඔබේ ලගම කෙනෙකු මෙවැනි ලක්ෂණ පෙන්වනේනම්   වහාම සැලකිලිමත් වෙන්න. එය ආඝාතයේ  මුලික ලක්ෂණයක් විය හැක. ආඝාතය රෝග ලක්ෂණ ඇති වූ වහාම හැකි විගස  ප්‍රධාන රෝහලක් කරා යොමු වන්න.