විදුලි බල්බය සොයා ගත්තේ කවුද යැයි ඇසූ විට ඔබ ඊට එක එල්ලේ පිළිතුරු ලබා දේවි. විදුලිබල්බය ලෝකයට හඳුන්වා දුන්නේ තෝමස් අල්වා එඩිසන්ය. එය ඕනෑම කෙනෙක් දන්නා දෙයකි. විද්‍යුත් ආලෝකය යනු අපගේ ජීවිත සුව පහසුවට ගත කිරීමට ලැබුණු ලොකු අවස්ථාවකි. 1879 දී තෝමස් අල්වා එඩිසන් තමාගේ නිර්මාණය හඳුන්වා දුන් බව සැබෑය.
එහෙත් ඊට පෙර නව නිපැයුම්කරුවන් විස්සකට අධික ප්‍රමාණයක් විසින් විවිධ ආකාරයෙන් විදුලි බල්බ, නැතහොත් තාපදීප්ත විදුලි බුබුලක් නිර්මාණය කිරීමට පෙළැඹි බව සඳහන් වේ. 1874 දී පමණ කැනඩා ජාතික හෙන්රි වුඩ්වර්ඩ් සහ ඔහුගේ සහායකයකු වූ මැතිව් එවන්ස් විසින් විදුලි බල්බ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ‘පේටන්ට්’ බලපත්‍රය ලබා සිටි බව සඳහන්ය.
ඊට වාණිජමය වටිනාකමක් දීමට මේ දෙදෙනා අපොහොසත් විණි. අවසන ඔවුන්ගේ පේටන්ට් බලපත්‍රය එඩිසන් හට විකුණා දමා ඇත. මේ වෙන වට (1878) එඩිසන් විදුලි බල්බය නිපදවීම කෙරෙහි පර්යේෂණ සාර්ථක ලෙස නිමා කර තිබූ අතර 1878 ඔක්තෝබර් මස 14 වැනිදා පළමු පේටන්ට් බලපත්‍රය පවා ලබාගත් බැව් සඳහන් වේ. එතෙක් ආ ගමනේ දී වඩාත් සාර්ථක වූ මිනිසා ඔහුම වූ බැවින්, විදුලි බල්බය සොයා ගත්තේ තෝමස් අල්වා එඩිසන් යැයි එතැන් සිට ලෝකයා හඳුන්වන්නට පටන් ගත්තේය.
එලෙසින් ඔබ මෙම විශිෂ්ට මිනිසා ගැන දන්නේ ‘අනාගත ලෝකය විදුලි බුබුලකින් ආලෝකවත් කළ මහාර්ඝ නිමැවුම්කරුවා ලෙසය. නමුත් තෝමස් අල්වා එඩිසන් යනු ව්‍යවසායකත්වයේ අමරණීය සිහිවටන ගොන්නක් සනිටුහන් කළ අපරිමාණ චරිතයකි. ‘ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම (General Electric Company) බිහිකිරීමට පුරෝගාමී වූ චරිතයක් මෙන්ම ව්‍යවසායකත්වයේ තවත් සමාගම් රැසක් බිහිකිරීමට පුරෝගාමී වූ මහා චරිතයක් විය. ඒ නිසාම සියවසේ මිනිසකු නොවූ ඔහු සියවස් ගණනාවකට අයත් වූ මහා මිනිස් චරිතයක් ලෙස හැඳින්විය හැකි වේ.
“ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි” විශේෂාංගය වෙතින් මේ මිනිසා ගැන මෙන්ම ඔහු බිහිකළ සමාගම් ගැන දැන ගැනීමට සියවස් දෙකකට පෙර වූ ඉතිහාසය වෙත අපි මොහොතකට පියමං කරමු.
තෝමස් අල්වා එඩිසන් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ පාසලකට ගොස් නොව, මවගෙනි. 1847 දී එඩිසන් උපත ලැබුවේ ඔහායෝ ප්‍රාන්තයේ මිලාන් හිදීය. නමුදු ඔහු ළමා වියේ කාලය ගත කළේ මිචිගන්හි පෝට් හියුරන් හිදීය. පවුලේ 7 වැන්නා හෙවත් බාල දරුවා වූයේ ඔහුය. 7 ‘ලකී’ කියා කතාවක් ඇත.ලකී සෙවන් වූ, එඩිසන් පියාගේ නම සැමුවෙල් ඕගඩන් එඩිසන්ය. මව නැන්සි මැතිව්ස්ය. පියාගේ පරපුර ලන්දේසි සම්භවයකින් පැවැත ආ බව සඳහන් වේ.
තනිවම පාසල් යාමට කුඩා එඩිසන් අකමැති විය. මව පාසල් ගුරුවරියක වූ නිසා මේ පුතු කියවීම, ලිවීම සහ ගණිතය උගත්තේ මවගෙනි. මවගෙන් උගෙනීමට ඇති අවකාශය නිසාත් තනියම පාසල් යාමට අකමැති වූ නිසාත් කුඩා තෝමස් අල්වා එඩිසන් ප්‍රාථමික අවදියේදී පාසල් අධ්‍යාපනය ලැබීමට පාසල් ගියේ දින කීපයක් පමණකි. ඔහු පාසල් නොගිය දරුවකු ලෙස හැඳින්විය හැකිය. කුඩා කාලයේ දී ඔහු වඩා ප්‍රිය කළේ විවිධ දේ තනමින් විවිධාකාර අත්හදා බැලීම් කිරීමටය. තාක්ෂණ අංශය කෙරෙහි හේ ඇලි ගැලී වෙලී සිටීමට ප්‍රිය කළේය.
කුඩා කාලයේ දීම බිහිරි වීම
පවුලේ වාසනාවන්ත හත්වැනියා ලෙස උපත ලබා සිටි එඩිසන් දරුවා වයස අවුරුදු 12 දී පමණ බිහිරි හෙවත් ශ්‍රවණාබාධයට ලක්වූවේ උණ රෝගයක් සහ එක් කනක සෑදී තිබූ ආසාදනයකට ප්‍රතිකාර නොකළ නිසාවෙනි. මේ නිසා එක් කනක් සම්පූර්ණයෙන්ම බිහිරි බවට පත්ව තිබිණ. අනෙක් පැත්තෙන් ශ්‍රවණය වූවේ ස්වල්ප වශයෙනි. යාන්තමට ඒ ‘කන’ ඇසුණේ යැයි කිව හැකිය. මේ සියල්ල සිදුවූයේ ඔහු පියානෝ වාදනය ශ්‍රවණය කිරීමේදී ශබ්ද තරංග ගලා යන රැහැන් කටින් සැපීම නිසා හිස්කබලට ඇතිවූ චලන කම්පනයක් නිසා යැයි ද සඳහන් වේ. ඒ කෙසේ වෙතත් පසුකලෙක තමාගේ මේ ශ්‍රවණාබාධයට හේතුව කවරෙකු හෝ ඔහුගෙන් විමසූ විට ඔහු එක් එක් දේ කීය.
වෛද්‍යවරු එදා ප්‍රකාශ කළේ ඔහු විශේෂ අවධානය යොමුකළ යුතු දරුවකු කියාය. මෙලෙසින් පාසල් අධ්‍යාපනය නොලබා ‘මව’ යටතේ ගෙදර දී අධ්‍යාපනය ලබමින් සිටි ‘එඩිසන්’ හට ඒ කිසිවක් ප්‍රශ්න නොවූයේ ඔහුට ජීවිතය ගැන ලොකු අවබෝධයක් නොතිබූ නිසා විය හැකිය. ඒ හැරත් අවුරුදු දොළහේ දරුවකු හට ජීවිතය ගැන මොන අවබෝධයක් ද?
මවගෙන් ඉගෙන ගන්නා අතරේ පොත පතට වඩා ඔහුගේ හිත ගොස් තිබුණේ තාක්ෂණ අංශය කෙරෙහි වූ බැවින් ඔහුගේ විනේදාංශය වූයේ විවිධ දේ නිර්මාණය කරමින් අත්හදා බැලීමටය. සමහර විට පියානෝවේ ශබ්ද තරංග ගලා යන වයර කටින් සපන්නට ඇත්තේ ද ඔහුට ඇති වූ සිතිවිල්ලක් නිසා වෙන්නට පුළුවන. කොහොමටත් ඔහු වඩා උනන්දු වූයේ කාටවත් යටත් නොවී තමා විසින් උගෙන ගැනීමටය. ලෝ ප්‍රකට වූ බොහෝ ව්‍යවසායක මෙන්ම නවෝත්පාදන අංශයේ බොහෝ දේ සොයාගත් චරිත බොහෝ විට ලෝකයේ ප්‍රකට සරසවි වෙතින් අධ්‍යාපනය ලබා උපාධි ලැබුවෝ වුව ද ඒ සියල්ලට වඩා මනස උසස් වූ මේ අපූරු මිනිසා සරසවියකින් උපාධි ලද තැනැත්තෙකු නොවීය. හැබැයි ඔහු ඒ මග හරවා ගත්තේ තමාගේම ගමනක් යන අතරේ පෙර කී ලෙස අත්හදා බැලීම් කළ නිසාමය.
‘මොනවද මේ දරුවා කරන විකාර වැඩ. මේ ළමයාට පිස්සු’ කියා සමහර විට එදා කුඩා එඩිසන් කළ විවිධ දේ දුටු ඔහු අවට සිටි අය එලෙස කියන්නට ඇත.’
ශ්‍රවණාබාධයට ලක්ව සිටි නිසා එඩිසන් බොහෝ විට කළේ අන් අයට සවන්දීමය. අනුන් කියූ දේ අසා සිටීමට හේ බෙහෙවින් රිසි විය. ඔහුගේ නිශ්ශබ්දතාවය ඔහු රැගෙන ගියේ නිදහසේ සිතන සිතිවිලි අවකාශය වෙතය. නිතරම අලුත් දේ ගැන සිතමින් කල්පනාවේ නිමග්නව සිටි ඔහු කෙතරම් දුරකට රැගෙන ගියේද යත් අන්තිමට එඩිසන් නතර වූයේ මුළු ලෝකය ආලෝකවත් කරමිනි.
තාරුණ්‍යයේ දී එනම් වයස අවුරුදු 28 දී පමණ එඩිසන් The Cooper Union (දි කූපර් යුනියන්) විද්‍යා හා කලා අංශයේ උසස් පාඨමාලා කළ හැකිව තිබූ ආයතනයෙන්, රසායන විද්‍යා අංශයට සම්බන්ධව සිව් අවුරුදු පාඨමාලාවක් හැදෑරීය.
ව්‍යවසායකත්වයේදී මුලින්ම ටොෆි විකිණීම
තෝමස් අල්වා එඩිසන් තමාගේ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට පිවිසියේ ඉතා සුළුවෙන් ‘ටොෆි’ සහ පැණි රස (සීනිබෝල) දේ අලෙවි කරන්නෙකු ලෙසය. දුම්රියක ගමනක් යාමේදී විවිධ දේ ළඟට ගෙනත් අලෙවි කරන පදික වෙළෙඳුන් ඔබ දකිනවා නේද? මේ තෝමස් අල්වා එඩිසන් හෙවත් විදුලි බුබුලේ පියා එදා ටොෆි ආදිය මෙන්ම එළවළු අලෙවි කළේ ඩිට්රොයිට්හි පෝට් හියුරන්හි දුම්රිය වෙත ගොසින්ය. ධාවනය කෙරෙන දුම්රිය ඔස්සේ ගොස් එලෙසින් වෙළෙඳාම කරගෙන සිටි පුංචි එඩිසන්ගේ වයස අවුරුදු 13 ක් පමණ විය. බලන්න කුඩා දරුවකුගේ චිත්ත ධෛර්ය කොතරම් ද කියා?
මෙම වෙළෙඳාම නිසා වයස අවුරුදු 13 දී සතියක දී ඩොලර් 50ක පමණ ශුද්ධ ආදායමක් උපයාගත හැකි විණි. එලෙසින් ලද මුදලින් ඔහු කළේ කුමක්ද කියා ඔබ දන්නවාද?
විවිධ අත්හදා බැලීම් සහ පර්යේෂණ සඳහා වූ උපකරණ, රසායනද්‍රව්‍ය සහ විදුලි මෙවලම් මිල දී ගැනීමය. එවකට මිචිගන්හි මවුන්ට් ක්ලෙමන්ස් දුම්රිය ස්ථානාධිපතිව සිටියේ ජේ.යූ. මැකෙන්සිය. දිනෙක ඔහුගේ තෙහැවිරිදි දරුවා ධාවනය වූ දුම්රියේ ගැටෙන්නට ගිය විට තම ජීවිතය ගැන ද නොතකා, එඩිසන් ළමයා හට අර ළාබාල දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවිණි. මීට ගරු කිරීම වෙනුවෙන්, මැකෙන්සි පසු දිනෙක ටෙලිග්‍රාෆ් ක්‍රියාකරන්නකු ලෙස එඩිසන් හට රස්සාවක් ලබා දීමට කටයුතු කළේය. රේල්ලුවේ ටෙලිග්‍රාෆ්වරයකු ලෙස සේවය කරන අතරේ ලද නිවාඩුවේ දී පවා එඩිසන් කළේ තමාගේ අත්හදා බැලීමේ ක්‍රියාවලියෙහි නිරත වීමය.
පසුව මහමඟ පුවත්පත් විකිණීමේ අවකාශය (ඒජන්සිය) ලබා ගත් ඔහු ටික දිනකින් සහායකයින් සතර දෙනෙකුගේ සේවය ලබමින්, යතුරුලියනය කරමින් තමාගේම පුවත්පතක් නිර්මාණය කර අනෙකුත් පුවත්පත් අතරේ තමාගේ පුවත්පත ද විකිණීම සිදුකෙළේය. එය එඩිසන්ගේ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ දිගු ගමනකට මුල පිරූ ලොකු පිම්මක් වූ බව සඳහන් කළ හැකි වේ.
19’ හිතුවක්කාරයා
1866 දී එඩිසන් පසුවූයේ 19 වැනි වියෙහිය. කෙන්ටැකිහි ලුයිස්විල් වෙත ඒ වෙන විට සංක්‍රමණය වී සිටි ඔහු තරමක හිතුවක්කාර වැඩක් කළේය. නව පුවත්පත් ආයතනයක සේවයට එක්ව සිටි එඩිසන් ස්ව කැමැත්තෙන්ම රාත්‍රි වැඩමුරය ඉල්ලා සිටියේ ඒ නිසා තමා හට ‘කියවීමට’ සහ පොත පත පරිශීලනය කිරීම වෙනුවෙන් වැඩිපුර කාලය ලැබීම නිසාය. එක්තරා රාත්‍රියක දී ඊයම් බැටරියක් ගෙන අත්හදා බැලීමක් කරමින් සිටි එඩිසන් අතින් අත්වැරැද්දක් සිදුවිණි. ඒ නිසා සල්ෆියුරික් අම්ලය පොළව මත පතිත වී බොස්ගේ කාමරය දක්වා ගලා ගියේය.
‘මොනවද මිනිහෝ තමුසේ කරන මේ පිස්සු වැඩ යනවා යන්න’ කියා කියූ බොස් පසුදා උදෑසනම ඔහුව සේවයෙන් පහ කළේය. එඩිසන්ගේ පර්යේෂණාත්මක ගමන ඒ කිසිවක් නිසා නතර නොවුණි.
නවෝත්පාදන වෙතින් ව්‍යවසායකත්වයේ ගමන ඇරඹීම
එඩිසන් තම ව්‍යවසායකත්ව සහ නවෝත්පාදන වෙතින් ව්‍යවසායකයකු වූ ගමන පටන් ගත්තේ වයස අවුරුදු 22 දී පමණය. (1869 ජූනි 1 වැනිදා ලෙස සඳහන් වේ.) ‘Electric Vote Recorder’ යනු ඔහු පළමුව පේටන්ට් බලපත්‍රය ලද නිර්මාණය ලෙස සඳහන් වේ. එතැනින් පටන් ගත් පේටන්ට් ගමන ඇමෙරිකාව ඇතුළත දී පමණක් බලපත්‍ර 1093 කට හිමිකම් දැරීය. පේටන්ට් බලපත්‍ර මෙපමණ සංඛ්‍යාවකට හිමිකම් කීම වෙනුවෙන් නිපද වූ නවෝත්පාදක ඔහුගේම සංකල්ප නිසා ලබා ගත් ඒවාය. එඩිසන් හට එලෙසින් නවෝත්පාදන සඳහා පේටන්ට් බලපත්‍ර හිමිකම් ඇත්තේ ඇමෙරිකාවේදී පමණක් නොවේ. ලෝකයේ වෙනත් රටවල ද ඔහුගේ නාමයට පේටන්ට් බලපත්‍ර තිබීම විටෙක පුදුම සහගත දෙයක් නොවේද? ‘තෝමස් අල්වා එඩිසන්’ නමැති මහා මිනිසා සොයා ගත්තේ ‘බල්බය’ පමණක්ම නොවූ වග සඳහන් කළ හැකිය. මෙලෙසින් දහසකට අධික පේටන්ට් බලපත්‍ර ලබමින් ඔහු ලෝක වාර්තාවක් තබා ඇත. එතැනින් ද නතර නොවූ මේ මහා මිනිස් මොළය, ඇමෙරිකාවේදී බොහෝ තාක්ෂණික, සෙවුම් බැලුම් පර්යේෂණ සිදුකෙරෙන තෝතැන්න වූ මෙන්ලෝ පාක් (Menlo Park) හිදී කර්මාන්තශාලා අංශයේ පර්යේෂණ සිදුකිරීම සඳහා වූ රසායනාගාරයක් පවා ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ ව්‍යවසායකයකු විය.
විදුලිබලයෙන් ක්‍රියාත්මක කෙරෙන මෝටර් රථය මෙන්ම එම අංශය ඇතුළුව ලෝකයට තවත් බොහෝ දේ දායාද කළ නිකාලො ටෙස්ලා නමැති යාන්ත්‍රික ඉංජිනේරුවරයා ගැන මීට පෙර අප පවසා තිබේ. එකල කරට කර තරගය තිබුණේ මේ දෙදෙනා අතරය. නමුත් නිකොලා හට එඩිසන්ගේ අහලකටවත් ඒමට නොහැකි වූයේ එඩිසන් එක් දෙයකට පමණක් සීමා නොවූ අපරිමාන චරිතයක් වූ බැවිනි. කලක් ප්‍රතිවිරුද්ධවාදීන් වූ මෙම දෙපොළ පසු කලෙක ගජ මිතුරෝ බවට පත්වූහ. ටෙස්ලා අල්වා යටතේ සේවය කිරීම ද විශේෂත්වයක් විය.විදුලිබලයෙන් ක්‍රියාත්මක කෙරෙන මෝටර් රථය මෙන්ම එම අංශය ඇතුළුව ලෝකයට තවත් බොහෝ දේ දායාද කළ නිකාලො ටෙස්ලා නමැති යාන්ත්‍රික ඉංජිනේරුවරයා ගැන මීට පෙර අප පවසා තිබේ. එකල කරට කර තරගය තිබුණේ මේ දෙදෙනා අතරය. නමුත් නිකොලා හට එඩිසන්ගේ අහලකටවත් ඒමට නොහැකි වූයේ එඩිසන් එක් දෙයකට පමණක් සීමා නොවූ අපරිමාන චරිතයක් වූ බැවිනි. කලක් ප්‍රතිවිරුද්ධවාදීන් වූ මෙම දෙපොළ පසු කලෙක ගජ මිතුරෝ බවට පත්වූහ. ටෙස්ලා අල්වා යටතේ සේවය කිරීම ද විශේෂත්වයක් විය.
විදුලි අංශය සම්බන්ධයෙන් වූ බොහෝ ව්‍යාපාර කෙරෙහි තෝමස් අල්වා එඩිසන් දැක්වූයේ දැඩි ප්‍රියතාවකි. ඒ නිසා එම අංශයේ ව්‍යාපාර කීපයක්ම නිර්මාණය කිරීමට ඔහුට හැකිවිණි.
විදුලි අංශයේ නවෝත්පාදන සහ සොයාගැනීම් වෙනුවෙන් විශාල මුදල් කන්දරාවක් වැය කිරීමට එවකට ඔහුට සිදු වූ අතර ඒ සියල්ල වෙනුවෙන් ‘මූල්‍යාධාර’ සපයමින් ඔහුට ආර්ථික ශක්තිය සැපයුවේ ලෝ ප්‍රකට ව්‍යවසායකයකු වූ ජේ.පී. මෝගන් සහ වැන්ඩර්බිල්ට් පවුලේ උදවිය යැයි සඳහන් වේ.
එඩිසන් ජේ.පී. මෝගන් සමග ව්‍යාපාර කීපයකම හිමිකම් දැරූ අයෙක් විය. ඇමෙරිකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ එවකට නියැලී සිටි උසස් පැළැන්තියේ පවුල් වෙතින් එඩිසන් හට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. 1892 දී එනම් මීට වසර 130 ට පමණ පෙරදී ජෙනරල් ඉලෙක්ට්‍රික් කම්පැනි සමාගම එඩිසන් ස්ථාපිත කළේ චාල්ස් කොෆින්, ජේ.පී. මෝගන්, ඉලීහු තොම්සන්, එඩිවින් හියුස්ටන් යන ව්‍යවසායකයින් සමග අත්වැල් බැඳ ගෙනය. අද වෙන විට ජෙනරල් ඉලෙක්ට්‍රික් නොහොත් ‘GE’ යන කෙටි නාමයෙන් හැඳින්වෙන සමාගම ගොස් ඇති දුර බොහෝය. විවිධ අංශ ඔස්සේ එය විහිදී පැතිරී ගිය සමාගමකි.
තෝමස් අල්වා එඩිසන්ගේ පුද්ගලික ජීවිතයේ රිද්මය
එඩිසන්ගේ මුල්ම විවාහය සිදුවූයේ ඔහුගේ වයස අවුරුදු 24 දීය. 16 වැනි වියේ පසු වූ මේරි ස්ටිල්වෙල් සමග 1871 නත්තල්දා (දෙසැම්බර් 25) විවාහ වූ අතර එම විවාහයේ දරුවන් තිදෙනෙකු විය. හඳුනාගත නොහැකි වූ රෝගයක් නිසා මේරි වයස අවුරුදු 29 දී මියගියේ එඩිසන් සහ දරු දෙදෙනා තනි කරමිනි. දරුවනට හොඳ පියෙකු වී සිටි එඩිසන් නැවත විවාහ වූයේ වයස අවුරුදු 39 දී (1886 දී) එවකට 20 හැවිරිදි වූ මිනා මිලර් සමගය.
එම විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලද්දේය. එඩිසන් යනු හොඳ ප්‍රේමාන්විත චරිතයක් මෙන්ම බිරිඳට ආදරය කළ හොඳ සැමියෙකු විය. ලෝ ප්‍රකට හෙන්රි ෆෝඩ් (ෆෝඩ් රථයේ නිර්මාණකරු) යනු එඩිසන්ගේ ගජ මිතුරකු විය. බොහෝ විට තෝමස් අල්වා එඩිසන් නිවාඩුව ගත කළේ ෆෝඩ් සහ ජේ.පී. මෝගන් මෙන්ම වැන්ඩර්බිල්ට් පවුලේ උදවිය සමගය.
අලුත් යමක් ගැන කල්පනාවේ යෙදෙන විට සහ නව පර්යේෂණ කළ අතරේ එඩිසන්ගේ හොඳම මිතුරා වූයේ ‘සුප්’ කෝප්පයයි. එවැනි වේලාවන් හිදී එඩිසන්
‘සුප්’ බීමට බොහෝ සෙයින් ප්‍රිය කෙළේය.
තෝමස් අල්වා එඩිසන් සැඳෑ සමය ගෙවුයේ ඉතා සුඛෝපභෝගී ලෙසය. එතරම්ම මුදල් කන්දරාවකට ඔහු හිමිකම් කීවේය. නගරයෙන් නගරයට සුවිසල් මහා මන්දිර ඔහු සතු වූ අතර කලින් කලට එම මන්දිරවල විසීමට ඔහු ප්‍රිය කළේය. උදා වී තිබුණේ 1931 වසරය. රතු ඔක්තෝබරය එළැඹ තිබුණේය. නිව්ජර්සිහි වෙස්ට් ඔරේන්ජ්, ලුවැලින් උද්‍යානයේ ‘ග්ලෙන්ට්මොන්ට්’ නමැති සුපිරි මන්දිරයේ (එය බිරිඳ මිනාගෙන් ලද ත්‍යාගයකි) විසූ මේ සුපිරි මොළය සදහටම අක්‍රිය වුණි.
එඩිසන් අවසන් සුසුම පිට කරන මොහොතේ දී දජ මිතුරා වූ හෙන්රි ෆෝඩ් ඔහු අසල සිටි අතර එඩිසන්ගේ අවසන් සුසුමේ හඬ පවා පටිගත කිරීමට ෆෝඩ් කටයුතු කළේ ලෝකයට සියවස් ගණනකට යළි එවැනි මිනිසකු බිහි නොවන වග දැන සිටි නිසා විය හැකිය.
තෝමස් අල්වා එඩිසන් මියගොස් සියවසකට ආසන්නය. එහෙත් තවමත් ඔහු ඔබ සමීපයේය. ඔබ මේ ලිපිය කියවන්නේ විදුලි ආලෝකය යටතේ නම්? ඒ ආලෝකය අන්කවරකුගේවත් නොවේ. තෝමස් අල්වා එඩිසන් නමැති සදාතනිකව දීප්තිමත් වූ මිනිසාගේය. ඔහු නම් මහා පුදුමයක් නේද?
උපුටා ගැනීම ලංකා දීප පුත්පත