• September 17, 2024
  • Last Update September 3, 2024 11:08 AM
  • Sri Lanka

වසර මිලියන 400කට ඉහත විසූ දැවැන්ත සාගර ගෝනුස්සෝ

වසර මිලියන 400කට ඉහත විසූ දැවැන්ත සාගර ගෝනුස්සෝ

සාගරයේ වාසය කළ මුහුදු ගෝනුස්සන් ගැන වාර්තා හමු වී තිබුණත්, ඕස්ට්‍රේලියාවෙන් හමු වූ දැවැන්ත මුහුදු ගෝනුසු ෆොසිල පාෂාණධාතු විද්‍යාඥයන් විස්මයට පත් කරන්නට සමත් ව තිබෙනවා. ඔවුන් සාගර තරණය කිරීමේ පවා හැකියාව තිබූ බව විද්‍යාඥයන් සඳහන් කරනවා. ඔස්ට්‍රේලියාවෙන් සොයාගත් ෆොසිල මේ ප්‍රාග් ඓතිහාසික සතුන් ගැන දැනුම අලුත් කරනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.

මින් පෙර ද දැවැන්ත ගෝනුස්සන්ගේ ෆොසිල හමු වී තිබුණත් සාගර වාසී ගෝනුස්සන්ගේ ෆොසිල හමු වී තිබුණේ දුලබ වශයෙන්. බොහෝ විට හමු වූ ෆොසිල හඳුනා ගැනීමට පවා අපහසු වන පරිදි කැබලි වී ගොස් තිබුණා. මෑත කාලීන ව ඕස්ට්‍රේලියාවෙන් හමු වූ ෆොසිල යළි එකට ඈඳා පූර්ණ ෆොසිලයක් දක්වා ගොඩනඟන්නට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා.

වැඩිදුර පර්යේෂණ අවශ්‍ය ව පවතින හෙයින් පර්යේෂකයන් දැනට විශ්වාස කරන්නේ මෙලෙස හමු වූ ෆොසිල Pterygotes සහ Jaekelopterus යන ඝණයන්ට අයත් වූ ගෝනුස්සන්ට අයත් බවයි. Jaekelopterus යනු මෙතෙක් සොයාගෙන ඇති කරුණුවලට අනුව මුහුදේ වාසය කළ දැවැන්ත ම ගෝනුසු විශේෂ අයත් වන ඝණයයි. නව සොයාගැනීම මේ දැවැන්තයන් වඳ ව ගියේ මන්දැ යි සොයා ගැනීම සඳහා උපකාරී වනු ඇති බව අධ්‍යයනයේ ප්‍රධාන කතුවර ඇමරිකානු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පාෂාණධාතු විද්‍යාඥ රසල් බික්නෙල් විශ්වාස කරනවා.

අදින් වසර මිිලියන 400කට ඉහත මිනිසෙකුගේ ප්‍රමාණයටත් වඩා විශාල ගෝනුස්සන් සාගරයේ දරුණු විලෝපිකයන් ලෙස වාසය කළ බවට සාධක තිබෙනවා. නමුත් උන් අදින් වසර මිලියන 393කට පෙර මිහිමතින් තුරන් ව ගොස් තිබෙනවා. සමස්තයක් වශයෙන් මෙවැනි මුහුදු ගෝනුසු වි‍ශේෂ 200ක් පමණ එවක වාසය කරන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.

 

උපුටාගැනීම විදුසර

Related Articles