ශ්‍රී ලංකාවේ කෞතුකාගාර සංකල්පයේ විකාශනය

ශ්‍රී ලංකාවේ කෞතුකාගාර සංකල්පයේ විකාශනය
banner

කෞතුකාගාර යන වචනය ඇසෙන විටම අපගේ මනසේ නිර්මාණය වන්නේ පැරණි භාණ්‌ඩ එකතුන් රැසක්‌ එක්‌රැස්‌ කොට තිබෙන ස්‌ථානයක්‌ ය යන හැඟීම යි. එයට හේතුව මීට දශක තුන හතරකට පෙර කෞතුකාගාර සමාජ ක්රියාවලිය හා නිසි පරිදි බද්ධ නොවී හුදකලාව පැවතීම ය. නමුත් වර්තමානය වන විට කෞතුකාගාර සමාජ ක්රියාවලිය හා බද්ධ වී ක්රියාකරන ඉතා වැදගත් ආයතනයක්‌ බවට පත් වී ඇත. ඒ නිසා අද කෞතුකාගාර ඒ ඒ රටවල සංස්‌කෘතික අධ්යාපනික හා විද්යාත්මක සංවර්ධනයට ද විනෝදාස්‌වාදය සඳහා ද පවත්වා ගෙන යනු ලබ යි. අද වන විට කෞතුකාගාර පැරණි භාණ්‌ඩ එකතුවක්‌ තැන්පත්ව තිබෙන ස්‌ථානයක්‌ නොවේ. ඒ හා බැඳුණු විශාල කාර්යභාරයක්‌ අද කෞතුකාගාර මගින් සිදුවේ. එබැවින් වත්මන් ජනතාව තුළ කෞතුකාගාර පිළිබදව ඇත්තේ අවියෝජනීය බැඳීමකි. ගෞරවයකි. දැඩි අවධානයකි.

ශ්රී ලංකාවේ කෞතුකාගාර සංකල්පයේ ආරම්භය හා ඉතිහාසය පිළිබඳව විමසීමේදී එයට දිගු ඉතිහාසයක්‌ පවතී. එම අතීතය විමසීමට පෙර කෞතුකාගාරය යන වචනයේ ආරම්භය කෙලෙස ඇතිවීද යන්න ගැන මඳක්‌ විමසා බැලිය යුතුය. ‘කෞතුකාගාර’ යන වචනයෙන් හඳුන්වනු ලබන ආයතනය ග්රීක භාෂාවෙන් ‘ම්යුසියෝන්,’යනුවෙන් ද සංස්‌කෘත භාෂාවෙන් , කෞතුකාගාරය’ යනුවෙන් ද සිංහලෙන්, කටුගෙය, ලෙස ද ඉංග්රීසියෙන්, මියුසියම් (Museum) යනුවෙන් ද හඳුන්වනු ලැබේ.

‘කෞතුකාගාර,’ යන වචනය පිළිබඳ විවිධ නිර්වචනයන් ඉදිරිපත්ව ඇත. නමුත් මෙම වචනය මුලින්ම භාවිත කරන ලද්දේ ග්රීසියේය. ග්රීක ජනකථා වලට අනුව ඔවුන්ගේ අති ශ්රේෂ්ඨ දෙවියා වූ සෙයුස්‌ (Zeus) හා නිමොසයින් යන දෙවියන්ගේ දූවරුන් නවදෙනා අතරින් සාහිත්ය කලාව හා විද්යාව යන ශාස්‌ත්රීය කටයුතු වලට අධිපති දෙවඟන වූ ‘මයුස්‌,’ දෙවඟනගේ දේවස්‌ථානයට මුලින්ම මෙම නම භාවිත කර ඇත.

මෙම ස්‌ථානය විද්වතුන් හා චින්තකයන් එක්‌රැස්‌ වී සාකච්ඡා කරන ස්‌ථානයකි. යුරෝපයේ මුලින්ම Museum යන්න භාවිත වී ඇත්තේ මිසරයේ අලෙක්‌ස්‌සැන්ඩ්රියා නගරයේ තිබූ කෞතුකාගාරයකටය. එහි පසෙක පුස්‌තකාලයක්‌ ද තිබී ඇත.

ඇලෙක්‌ස්‌සැන්ඩ්රිරයාවේ රජකළ ටොලමි පිලඩෙෆියුස්‌ (ක්රි. පු. 306 – 285) විසින් එම කෞතුකාගාරය හා පුස්‌තකාලය සකස්‌ කර එහි භාණ්‌ඩ තැන්පත් කොට රජයේ මුදල් යොදමින් ඒ සඳහා පූජකයෙකු ද යොදවා සිටි බව සඳහන් වේ.

මෙම ස්‌ථානය ද උගතුන් හා චින්තකයන් හා විද්යාඥයින් එක්‌රැස්‌ වී සාකච්ඡා කළ ස්‌ථානයකි. මේ අනුව කෞතුකාගාර සංකල්පය මුලින් ම ආරම්භ වූයේ යුරෝපයේ බව බටහිර උගතුන්ගේ විශ්වාසයයි.

ශ්රී ලංකාවේ කෞතුකාගාර සංකල්පයේ ආරම්භය ක්රි. පූ. 247 – 207 දක්‌වා ඈතට දිවයන බව හිටපු කෞතුකාගාර අධ්යක්ෂ සිරිනිමල් ලක්‌දුසිංහ මහතාගේ අදහසයි. දේවානම්පියතිස්‌ස රජුගේ රාජ්ය සමයේදී ලංකාවට වැඩම වූ ශ්රී මහා බෝධිය රැගෙන ආ නැවේ කොටස්‌ වෙනම කුටි තුනක තැන්පත් කර ජනතාවට දැක බලා ගැනීම සඳහා ආරක්ෂා සහිතව තැන්පත් කර ඇත.

‘උපාසික විහාරය’ වශයෙන් හඳුන්වනු ලැබූ භික්ෂුණී සේනාසනයෙහි භික්ෂුණී සංඝයා සහිත වූ ඒ සංඝමිත්තා මහ තෙරණිය වාසය කළාය. රජතුමා විසින් චුලංගණ, මහා ආංගණ හා සිරිවඩ්ඨ යෑයි ප්රසාද තුනක්‌ කරවා ඉක්‌බිත් තවත් ප්රසාදයක්‌ කරවිය. එයින් චුලංගණ නම් මහා ප්රසාදයෙහි රැගෙන ආ කුඹගස තැන්පත් කරවිය. මහා ආංගණ ප්රසාදයෙහි නැවෙහි කුඹගස තැන්පත් කරවීය. සිරිවඩ්ඨ නම් ප්රසාදයෙහි නැවෙහි පළුපත (හබල) තැබවිය, (ම. ව.19 පරිථ 68, 69 ගාථා)

කිසියම් ආයතනයක්‌ කෞතුකාගාරයක්‌ වීමට සම්පූර්ණ විය යුතු කරුණු තුනකි.

01. ස්‌ථිර ආයතනයක්‌ හා ගොඩනැඟිල්ලක්‌ තිබිය යුතුයි.

02. ඒ තුළ තැන්පත් කොට ආරක්ෂා කෙරෙන කෞතුක භාණ්‌ඩ ආදර්ශක තිබිය යුතුය.

03. මහජනයාට ප්රදර්ශනය විය යුතුය.

මෙම කරුණු අනුව සලකා බලන විට මෙම ක්රියාවලිය තුළ ඇත්තේ කෞතුකාගාරයක බිහිවීමේ මූලික සංකල්පයයි.

කෞතුකාගාරයක කාර්යභාරය අතර වැදගත්ම කාර්ය වන්නේ කෞතුක භාණ්‌ඩ ආරක්ෂා කිරීම හා ප්රදර්ශනය කිරීමයි. ක්රි. පූ. 3 සියවසයේ ” ශ්රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ගෙන ආ නැවේ කොටස්‌ මහාවංශයේ සඳහන් ආකාරයට ආරක්ෂා කිරීම/ සංරක්ෂණය හා ප්රදර්ශනය කිරීම යන සිදුවීම් තුළ කෞතුකාගාර සංකල්පයේ මූලික ලක්ෂණ ගැබ්ව තිබූ බව පැහැදිලිය. මේ නිසා ශ්රී ලංකාවේ කෞතුකාගාර සංකල්පයේ ආරම්භය ක්රි. පූ. 3 සියවස දක්‌වා ඈතට දිවයන බව පැහැදිලිය.

ටොලමි පිලඩෙල්ෆියුස්‌ රජු Museum නමින් කෞතුකාගාරයක්‌ හා පුස්‌තකාලයක්‌ පිහිට වූයේ (ක්රි. පූ. 306 – 285 ) අතර කාලයේය. දේවානම්පියතිස්‌ස රජු ශ්රී මහා බෝධිය වැඩම කරවු නැවේ ප්රධාන අංග සඳහා මැදිරි සකස්‌ කොට ප්රදර්ශනය කිරීම ආරම්භ කළේ ක්රි.පු. 247 – 207 අතර කාලයේ ය.

Sri-Lanka-Software-Store

මෙම සිද්ධි දෙක අතර පරතරය වසර සියයකටත් වඩා අඩු කාලයකි. අපරදිග රටවල මෙන්ම ශ්රී ලංකාවේ ද සමකාලීනව කෞතුකාගාර ක්රමය හෝ එම සංකල්පය ඇති වී යෑයි සැලකිය හැකිය.

ලාංකිය ජනතාවගේ අතිශය පූජනීය වස්‌තුවක්‌ වන දළදා වහන්සේ වැඩම වීම හා එය දළදා මැඳුරක තැන්පත් කිරීම, ප්රදර්ශනය කිරීම යන ක්රියාවලිය තුළ ද ගැබ්ව ඇත්තේ කෞතුකාගාර සංකල්පයේ මූලික කාර්ය භාරයන් ය. කෞතුකාගාරයක්‌ යනු ස්‌ථිර ආයතනයක්‌ ය.

දළදා වහන්සේ ස්‌ථිර මැඳුරක තැන්පත් කිරීමෙන් මේ අදහස ද සනාථ විය. දළදා වහන්සේ වඩා හිඳුවීම සඳහා සිරිමේඝවණ්‌ණ රජතුමා ධම්මචක්‌ක ගෘහය යොදාගත් පසු එය, දාඨාධාතුඝර, නමින් ප්රකට වූ අතර මෙම දළදා මැඳුරේ වර්ෂ 101 පමණ කාලයකට පසු දිරාපත්ව තිබූ කොටස්‌ ධාතුසේන රජතුමා විසින් ප්රතිසංස්‌කරණය කරන ලදී. ඉන් පසු අග්ගබෝධි රජු දළදා මැඳුරේ නවකම් කොට දළදා වහන්සේ උදෙසා රන් කරඬුවක්‌ ද පූජා කළේය.

පසුව ආ සොළී ආක්රමණිකයන් මේ දළදා මැඳුර දවා හලු කරන ලද බැවින් හතර වන මිහිඳු රජු නගර මධ්යයේ නව දළදා මැඳුරක්‌ ඉදිකරන ලදී. මේ අනුව මේ එකම ගොඩනැඟිල්ල දේවානම්පියතිස්‌ස යුගයේ සිට හතර වන මිහිඳු යුගය අවසානය දක්‌වා අවම වශයෙන් සියවස්‌ 12 ක්‌ පමණ ප්රතිසංස්‌කරණය වෙමින් පැමිණි බව පෙනේ. දේවානම්පියතිස්‌ස රජතුමා මිහිඳු හිමියන්ට වැඩ සිටීමට සකස්‌ කළ දළදා වහන්සේ මුලින්ම වැඩ සිටි එම ගෘහයේ ඓතිහාසික වටිනාකම පැරැන්නන් තේරුම් ගැනීම නිසා නව දළදා මන්දිරයක්‌ ඉදිකිරීමට හැකියාව තිබුණත් එසේ නොකර සිටීම ඉතා වැදගත් කෞතුකාගාර සංකල්පයකි.

කෞතුකාගාරයක තිබිය යුතු ප්රධාන ලක්ෂණයක්‌ නම් කෞතුක භාණ්‌ඩ මහජනයාට ප්රදර්ශනය කිරීමයි. සාමාන්ය ප්රදර්ශන වලට අමතරව විශේෂ ප්රදර්ශන ද ඒ සඳහා සංවිධානය කිරීම අවශ්ය වේ. එබඳු විශේෂ කෞතුකාගාර ප්රදර්ශනයකදී අනුගමනය කරන නවීන ක්රම බොහෝමයක්‌ දළදා වැඩම වූ ආසන්න වකවානුවේ ” පවත්වන ලද දළදා ප්රදර්ශනයන් ගෙන් විද්යමාන වන බව ෆාහියන්ගේ වාර්තා වලින් පැහැදිලි වේ. ක්රි. ව. 5 වන සියවසේදී පවත්වන ලද මේ දළදා ප්රදර්ශනය නූතන කෞතුකාගාර ප්රදර්ශනයක්‌ සේ ඉතා ක්රමත්ව සංවිධානය කොට ඇත.

ලේඛන ගත කිරීම් හා වාර්තා ගත කිරීම් ද දළදා වහන්සේ සම්බන්ධව මුල සිටිම සිද්ධ වූ කාරණයකි. වැඩම වූ අවස්‌ථාවේම සිරිමේඝවණ්‌ණ රජු පෙරහැර උත්සව පිළිබඳ චාරිත්ර ලේඛනයක්‌ සකස්‌ කළ බැව් සඳහන් විය.

ඉන් පසු ඉතිහාසය පුරාම දළදාව හා සම්බන්ධ උත්සව පුද සිරිත් මාලිඟා ඉදිකිරීම් හා සංරක්ෂණ ක්රම යනාදී සියලු කරුණු ලේඛනගත වී ඇත. මේ සම්බන්ධව විස්‌තර ඇති පොත් පත් රාශියක්‌ දැනට ශේෂව ඇති අතර මහාවංශය, දඨාවංශය, ධාතුවංශය, දළදා සිරිත, දළදා පූජාවලිය, ප්රධාන වේ. කෞතුක වස්‌තුවේ ස්‌වභාවය විස්‌තර කිරීම හා යොදන ලද සංරක්ෂණ ක්රම දැක්‌වීම නූතන කෞතුකාගාරයන් හි ප්රධාන වගකීමක්‌ සේ සැලකේ.

මෙම ලේඛනගත කිරීම මතු සංරක්ෂණ කාර්යයන්ට හා අර්ථ විග්රහයන්ට බෙහෙවින් වැදගත් වන ක්රියාවලියක්‌ සේ පිළිගැනෙන බැවින් මෙය අනිවාර්ය අංගයක්‌ වී ඇත. වර්තමානයේ වැදගත් සේ පිළිගැනුණුq මෙම සංකල්පය ශ්රී ලාංකිකයන් ඈත අතී.යේ සිට දැන සිටි බව තොරතුරු වලින් මනාව පැහැදිලි වේ.

මෙම සිදුවීම් පිළිබඳව විමසා බැලීමේදී පැහැදිලි වන කාරණාවක්‌ වන්නේ නූතන කෞතුකාගාර සංකල්පයන් හි බොහෝ අදහස්‌ අතීත ලාංකියා තුළ තිබුණු බවයි.

ඈත අතීතයේ සිට ලාංකික ජනතාව තුළ වර්ධනය වූ කෞතුකාගාර සංකල්පය නිසි පරිදි ආයතන ගතවීමක්‌ සිදු වූයේ 1877 ජනවාරි 01 වනදාය. ඒ කොළඹ ජාතික කෞතුකාගාරය බිහිවීමත් සමගය. 19 සියවසේ මුල් භාගයේ පමණ සිට යුරෝපා ජාතීන් පමණක්‌ නොව ආසියාවේ බොහෝ රටවල ජනතාව නිදහස පතා සිදු කළ අරගල වලදී තමන්ගේ රටේ තිබෙන අතීත උරුමය පිළිබිඹු කරන පුරාවස්‌තුන් රැක ගැනීම සඳහා නිසි වැඩ පිළිවෙළක්‌ සකස්‌ කරන ලෙස ඉල්ලමින් අධිරාජ්යවාදී ආණ්‌ඩුවලට දිගින් දිගට බලපෑම් කරන ලදී,

එපමණක්‌ නොව මේ කාලයේ ලංකාවේ සේවය කළ යුරෝපීය නිලධාරීන් මෙරට තිබෙන අතීත උරුමය පිළිබඳව අධ්යාපන හා පර්යේෂණ ද සිදු කරන ලදී. එම පර්යේෂණ මගින් 1850 පමණ වන විට රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව සතුව විශාල පුරාවස්‌තු එකතුවක්‌ ද තිබිණි. මෙම කෞතුකවස්‌තු හා ආදර්ශක තැබීමට ස්‌ථිර ගොඩනැගිල්ලක්‌ ලබා දෙන ලෙස රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ නියෝජිතයන් කිහිපවිටක්‌ම බ්රිතාන්ය ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියහ.

නමුත් එම ඉල්ලීම් වලට නිසි ප්රතිචාරයක්‌ බ්රිතාන්ය ආණ්‌ඩුවෙන් ලැබුණේ නැත. 1872 දී පමණ ලංකාවේ ආණ්‌ඩුකාරයා ලෙස විලියම් ග්රෙගරි පත් විය. ඔහු සංස්‌කෘතික හා ස්‌වභාවික උරුමය පිළිබඳව විශේෂ උනන්දුවක්‌ දැක්‌වූ පුද්ලයෙක්‌ වූ අතර රාජකීය ආසියාතික සංගමයේ ලංකාවේ ශාඛාවේ නිලධාරීන් ගේ ඉල්ලීම බ්රිතාන්ය ආණ්‌ඩුව වෙත නැවත ඉදිරිපත් කළේය.

ඒ අනුව 1873 සැප්තැම්බර් 25 වන දින අදාළ යෝජනාව ව්යවස්‌ථාදායකය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඇති වූ විරෝධතා හේතුකොට ගෙන එයට අනුමැතිය නොලැබිණි. නමුත් ලංකාවේ ඇති සංස්‌කෘතික හා ස්‌වභාවික උරුමය ආරක්ෂා කිරීම එම රටේ අනන්යතාව රැකගැනීමට හේතුවන බවත් ඒ සඳහා කෞතුකාගාරයක ඇති අනන්යතාව දැඩිව පෙන්වා දීමෙන් පසුව අවසානයේ ලංකාව තුළ කෞතුකාගාරයක්‌ සඳහා ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට ව්යවස්‌ථාදායකය කැමැත්ත ප්රකාශ කළේය.

ප්රබල උත්සාහයකින් අනතුරුව කෞතුකාගාරයක්‌ තැනීමට අවසර ගත් ග්රෙගරි ආණ්‌ඩුකාරතුමා ඒ සඳහා සුදුසු භූමියක්‌ තෝරාගත් අතර ගොඩනැඟිල්ලේ ගෘහ නිර්මාණය ඉතාලි ජාතික ගෘහනිර්මාණ ශිල්පියෙකු වූ ෙ-. ස්‌මිදර් මහතා ලවා ඉතාලි ගෘහනිර්මාණ සම්ප්රදායට සකසන ලදී. ඉන් අනතුරුව 1873 දී කෞතුකාගාරය ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කළ අතර ඉදිකිරීම් කොන්ත්රාත්කරු වූයේ වසාවේ මරික්‌කාර් සහ ඇස්‌. පෙරේරා යන මහත්වරුන්ය. වසර 04 ක්‌ වැනි ඉතා කෙටි කාලයක්‌ තුළ ඉදි කෙරුණු ජාතික කෞතුකාගාරය 1877 ජනවාරි 01 වන දින මහජනයා සඳහා විවෘත විය. ආරම්භයේ දී කෞතුකාගාරය තුළ ප්රදර්ශනය කළ කෞතුක භාණ්‌ඩ හා ආදර්ශක ප්රමාණය 1200 ක්‌ පමණ විය.

1877 සිට 1940 දක්‌වා කොළඹ ජාතික කෞතුකාගාරය ජාතික අවශ්යතාවන්ට පමණක්‌ සරිලන පරිදි නොව ජාත්යන්තර අවශ්යතා ඉටුවන පරිදි ද විශාල සේවයක්‌ සිදු කරන ලදී. 1939 ” ජාතික කෞතුකාගාරයේ අධ්යක්ෂ ධුරයට පත් පී. ඊ. පී. දැරණියගල මහතා කෞතුකාගාරයේ පැවැත්මට හා නඩත්තුව සඳහා විධිමත් වැඩ පිළිවෙළක්‌ සකස්‌ කිරීමේ අරමුණින් 1942 කෞතුකාගාර පනතක්‌ ව්යවස්‌ථාදායකය වෙත ඉදිරිපත් කර එය සම්මත කර ගත්තේය.

ඒ අනුව කොළඹ, රත්නපුර, යාපනය සහ මහනුවර ප්රදේශවල ද කෞතුකාගාර ආරම්භ කළ අතර මේ සියලු කෞතුකාගාර එකතු කරමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවක්‌ පිහිටුවන ලදී. මෙතැන් සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්යක්ෂවරයා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා බවට පත්විය. මේ අනුව කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්රථම ශ්රී ලාංකික අධ්යක්ෂවරයා වීමේ ගෞරවය පී. ඊ. පී. දැරණියගල මහතාට හිමිවිය.

ආරම්භයේදී පුරාවස්‌තු හා ආදර්ශක 2000 කින් පමණ ඇරඹුqණු ජාතික කෞතුකාගාරය සතුව තිබුණ කෞතුක වස්‌තූන් එකතුව 70 දශකය පමණ වන විට ශීඝ්ර ලෙස වර්ධනය වී තිබිණි. මේ නිසා ස්‌වභාවික විද්යා ආදර්ශක ප්රදර්ශනය කිරීම පිළිබඳව ගැටලු ඇති වී තිබිණි. 1965 දී ජාතික කෞතුකාගාර දොපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරයට පත් ආචාර්ය පී. එච්. ඩී. ද සිල්වා මහතා 1972 දී ජාතික කෞතුකාගාර භූමියේ ම ආනන්ද කුමාරස්‌වාමි මාවතට මුහුණලා ජාතික ස්‌වාභාවික විද්යා කෞතුකාගාරයක්‌ ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව 1986 දී ජාතික ස්‌වභාවික විද්යා කෞතුකාගාරය තුළ සත්ව විද්යා, කීට විද්යා, උද්භිද විද්යා, භූ විද්යා, සහ පාෂාණි ධාතු ආදර්ශක විශාල ප්රමාණයක්‌ තැන්පත් කර ඇත. ශ්රී ලාංකික ජනතාවට ස්‌වභාවික උරුමය පිළිබඳව මනා දැනුම් සම්භාරයක්‌ ලබා ගත හැකිවන ආකාරයට මෙම කෞතුකාගාරය ඉදි කිරීම ලාංකික කෞතුකාගාර ඉතිහාසයේ ඉදිරි පියවරක්‌ සනිටුහන් කිරීමකි.

කොළඹ ජාතික කෞතුකාගාරය සතුව තිබෙන පුස්‌තකාලය ද මෙහිදී සඳහන් කිරීම ඉතා වැදගත්ය. 1877 ජනවාරි 01 වන දින කෞතුකාගාරය ආරම්භ කළ දිනයේ ම ඇරඹී මෙම පුස්‌තකාලය වර්තමානය වන විට ආසියාවේ ප්රමුඛ පෙළේ පුස්‌තකාල වලින් එකක්‌ බවට පත්වී ඇත. ශ්රී ලංකාවේ පැරණිම පුස්‌කොළ පොත ලංකාවේ මුද්රිත පළමු පොත, ඇතුළු පුස්‌කොළ පොත් විශාල ප්රමාණයක්‌ මෙම පුස්‌තකාලය සතුව පවතී.

1990 දශකය පමණ වන විට මෙම පුස්‌තකාලය සතු විශාල පොත් ප්රමාණයක්‌ එකතුවී තිබූ අතර ඉඩකඩ පිළිබඳ ගැටලුවක්‌ මතු වී තිබිණි. මෙයට විසඳුමක්‌ වශයෙන් එවකට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාව සිටි සිරිනිමල් ලක්‌දුසිංහ මහතා පුස්‌තකාලයේ ඉඩකඩ පුළුල් කොට ඊට අවශ්ය ඉඩ ප්රමාණය ලබාදීම වෙනුවෙන් කෞතුකාගාර ගොඩනැඟිල්ලේ ආකෘතියට සමානම තවත් ගොඩනැඟිලි සංකීර්ණ දෙකක්‌ ඉදිකිරීමට අවශ්ය මුදල් ප්රතිපාදන ලබාගත් අතර එම ගොඩනැගිලි සංකීර්ණයේ පළමු ගොඩනැඟිල්ලේ වැඩකටයුතු නිමවා 2002 වර්ෂයේ දී කොළඹ ජාතික කෞතුකාගාරයට වර්ෂ 125 ක්‌ සැපිරීම වෙනුවෙන් විවෘත කරන ලදී. දෙවෙනි ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම 2002 ජනවාරි මාසයේ දී එවකට ජාතික කෞතුකාගාර අධ්යක්ෂ වර්තමාන ජාතික උරුමයන් පිළිබඳ අමාත්යාශ ලේකම්තුමියගේ අධීක්ෂණය යටතේ ආරම්භ විය.

1877 ජනවාරි 01 වන දින ආරම්භ වූ ජාතික කෞතුකාගාරය අද වන විට අධ්යාපනික හා ප්රදර්ශන අතින් නූතන තාක්ෂණය සමඟ මුසුව ඉතාම වැදගත් මෙහෙවරක්‌ කෞතුකාගාර ක්ෂේත්රයට ඉටු කරමින් සිටී. ජාතික කෞතුකාගාරය බිහිවීම ලාංකික කෞතුකාගාර ඉතිහාසයේ නොමැකෙන සිහිවටනයකි.

1980 වර්ෂයෙන් පසු ශ්රී ලංකාව තුළ කෞතුකාගාර සංකල්පයේ වර්ධනය පුළුල් වූ අතර ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර ආයතන කිහිපයක්‌ම කෞතුකාගාර ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. ඒ අනුව වර්තමානය වන විට ශ්රී ලංකාවේ කෞතුකාගාර පවත්වාගෙන යන ආයතන මෙලෙස වර්ග කර දැක්‌විය හැකිය.

1. පුරාවිද්යා දෙපාර්තමේන්තුව

2. මධ්යම සංස්‌කෘතික අරමුදල

3. රාජ්ය දෙපාර්තමේන්තු සහ රාජ්ය ආයතන

4. විශ්වවිද්යාල අධ්යනාංශ

5. සංස්‌ථා හා ව්යස්‌ථාපිත මණ්‌ඩල

6. පළාත් පාලන ආයතන

7. පෞද්ගලික ආයතන හා පුද්ගලයන්.

ශ්රී ලංකාවේ පුරාවිද්යා දෙපාර්තමේන්තුව ලංකාව තුළ කෞතුකාගාර පවත්වාගෙන යනු ලබන ප්රධාන ආයතනයකි. යම්කිසි පුරාවිද්යා පරිශ්රයක හමුවෙන පුරාවස්‌තු එම පරිශ්රය තුළම ප්රදර්ශනය කළ යුතුය යන සංකල්පය මත පුරාවිද්යා දෙපාර්තමේන්තුව ක්ෂේත්ර කෞතුකාගාර (Site Museum) ආරම්භ කරන ලදී.

ඒ අනුව පුරාවිද්යා දෙපාර්තමේන්තුව පළමු කෞතුකාගාරය අනුරාධපුරයේ දී ආරම්භ කරන ලදී. අද වන විට ලංකාවේ සෑම ප්රදේශයකම පාහේ පුරාවිද්යා ස්‌ථාන මුල් කර ගනිමින් පුරා විද්යා දෙපාර්තමේන්තුව පුරාවිද්යා කෞතුකාගාර පවත්වාගෙන යයි. මෙම කෞතුකාගාර විධිමත්ම පාලනය කිරීම හා පවත්වාගෙන යැම සඳහා කෞතුකාගාර අංශයක්‌ ද පුරාවිද්යා දෙපාර්තමේන්තුව තුළ ස්‌ථාපිත කර ඇත.

1980 වර්ෂයේ දී යුනෙස්‌කෝ රජයේ ආධාර මත ආරම්භ වූ සංස්‌කෘතික ත්රිකෝණ ව්යාපෘතිය හෙවත් මධ්යම සංස්‌කෘතික අරමුදල අද වන විට සංචාරකයන්ගේ ආගමනයත් සමඟ ලංකාවේ සෑම ප්රදේශයකම පාහේ තමන්ගේ ව්යාපෘති පිහිටුවා ඇත. එමෙන්ම මධ්යම සංස්‌කෘතික අරමුදල ලංකාවේ විවිධ ප්රදේශ වල කෞතුකාගාර පවත්වාගෙන යනු ලබන අතර අද වන විට ඉතා පුළුල් වූත් තාක්ෂණය අතින් ඉතා ඉහළ මට්‌ටමක පවතින නූතන ලෝකය සමඟ ගැලපෙන ආකාරයට කෞතුකාගාර පවත්වාගෙන යනු ලබයි.

උදාහරණයක්‌ ලෙස ගාල්ල කොටුව තුළ පිහිටා තිබෙන සමුද්ර පුරාවිද්යා කෞතුකාගාරය 2000 වර්ෂයෙන් පසු පුරාවිද්යා විෂය ක්ෂේත්රය තුළ වර්ධනය වූ සමුද්ර පුරාවිද්යාව ඇසුරු කර ගනිමින් නිර්මාණය වූවකි. මෙම කෞතුකාගාරය තුළ ඉතාම ඉහළ මට්‌ටකමකින් නොවුණත් යම් ආකාරයක නූතන තාක්ෂණික ක්රමවේදයන් අනුගමනය කර ඇත. සමුද්ර පුරාවිද්යා කෞතුකාගාරය මෙරට කෞතුකාගාර මැදිරි සැලසුම් කිරීමේදී යම් ආදර්ශයක්‌ හා අත්හදා බැලීමක්‌ කෞතුකාගාර ක්ෂේත්රයට හඳුන්වා දී තිබීම සුවිශේෂී දෙයකි.

එම කෞතුකාගාරය තුළ තිබෙන සෑම මැදිරියක්‌ම විශේෂිත ඉඩ පහසුකම් සහිතව නිර්මාණය කර ඇත. මේ තුළ කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන නරඹන්නන්ට මානසික ඒකග්රතාවකින් යුත්තව බොහෝ කාලයක්‌ තුළ කෞතුකාගාරය තුළ රැඳෙමින් හොඳින් කෞතුකාගාරය අධ්යයනය කිරීමට අවශ්ය ඉඩපහසුකම් ලැබේ. ලෝකයේ ඉතා éයුණු කෞතුකාගාරවල තිබෙන මැදිරි සැලසුම් කිරීමේ ක්රමවේදය සමුද්ර පුරාවිද්යා කෞතුකාගාරය අනුගමනය කර ඇත. මෙම කෞතුකාගාරය සමුද්ර පුරාවිද්යාව යන තේමාවට කෙතරම් ගැලපේද? යන්න ගැන විවිධ අදහස්‌ පැවතුනත් ලංකා කෞතුකාගාර ඉතිහාසයේ සමුද්ර පුරාවිද්යා විෂය ක්ෂේත්රයේ ආරම්භ වූ ප්රථම කෞතුකාගාරය මෙය යි.

මධ්යම සංස්‌කෘතික අරමුදල මගින් පවත්වාගෙන යනු ලබන සීගිරිය කෞතුකාගාරය ද ඉතා දියුණු තාක්ෂණ ක්රමවේදයන් භාවිත කර ඇත. ස්‌වාභාවික පරිසරයට හානියක්‌ නොවන ලෙස පරිසරය සමඟ ගලපා ගනිමින් ඉදිකර ඇති මෙම කෞතුකාගාරය සුවිශේෂී කෞතුකාගාරයකි. පොළාන්නරුව ෙ-තවානාරමයේ ඉදිකර තිබෙන කෞතුකාගාරය ද ප්රදර්ශන මට්‌මෙන් ඉතා ඉහළ තත්වයක පවතී.

අද වන විට මධ්යම සංස්‌කෘතික අරමුදල ශ්රී ලංකාව තුළ වර්ධනය වන සංචාරක ව්යාපාරය සමග මෙම කෞතුකාගාර ගලපා ගනිමින් ජාතික හා ජාත්යන්තර වශයෙන් ඉතා වැදගත් කෞතුකාගාර සේවයක්‌ සිදු කරමින් සිටී.

පුරාවිද්යා දෙපාර්තමේන්තුව හා මධ්යම සංස්‌කෘතික අරමුදලට පරිබාහිරව වෙනත් රාජ්ය දෙපාර්තමේන්තු හා ආයතන ද අදවන විට තමන්ගේ දෙපාර්තමේන්තුවේ හා ආයතනයේ ඓතිහාසිකත්වයේ මතකයන් එකතුරමින් කෞතුකාගාර ඉදිකර ඇත. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තු මගින් පවත්වාගෙන යනු ලබන දුම්රිය දෙපාර්තමේන්තු කෞතුකාගාරය අතිශය වැදගත් ය.

යටත් විජිත සමයේ ආරම්භ වූ දුම්රිය දෙපාර්තමේන්තුව ලංකාවට ගෙන ආ මුල්ම ගල් අඟුරු දුම්රියේ ඇන්ජිමේ සිට වර්තමානය දක්‌වා ආ ගමන් මගේ විශේෂිත මතකයන් ඒකරාශි කර ඇත. තැපැල් දෙපාර්තමේන්තුව ද මෑත භාගයේදී පැරණි මුද්දර හා ආයතනයේ පණිවිඩ හුවමාරු ක්රමවේදයන් වල සිට නූතන සන්නිවේදනය දක්‌වා ආ ගමන් මගේ මතක සටහන් එකතුකරමින් තැපැල් කෞතුකාගාරයක්‌ පවත්වාගෙන යනු ලබයි. රාජ්ය පරිපාලන අමාත්යාංශය මගින් පාලනය වන ආයතන ප්රාදේශීය ලේකම් කාර්යාල හා දිස්‌ත්රික්‌ ලේකම් කාර්යාල ද තම කාර්යාලයේ කොටසක්‌ තුළ තම ප්රදේශීය ඉතිහාසය විදහා දැක්‌වෙන ආකාරයට කෞතුකාගාරයක්‌ නිර්මාණය කර ඇත. ගාල්ල දිස්‌ත්රික්‌ ලේකම් කාර්යාලය තුළ ඉදිකර තිබෙන කෞතුකාගාරය මෙයට කදිම උදාහරණයකි.

විශ්වවිද්යාල වල පුරාවිද්යා හා ඉතිහාසය අධ්යයන අංශ මගින් එම අධ්යයන අංශ වල ඉගෙන ගන්නා ශිෂ්යන්ගේ අධ්යාපන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා අධ්යනාංශ අනුබද්ධිතව කෞතුකාගාර පවත්වාගෙන යනු ලබයි. පේරාදෙණිය විශ්වවිද්යාලයේ පුරාවිද්යා අධ්යනාංශ සතුව තිබෙන කෞතුකාගාරය මහාචාර්ය සෙනරත් පරණවිතාණයනගේ මූලිකත්වයෙන් නිර්මාණය වූවකි. ලංකාවේ ඇතැම් පාසල් ද තම පාසලේ අනන්යතාව හුවා දැක්‌වීම සඳහා පාසල සතුව ඇති පැරණි සාධක එකතුන් කුඩා කෞතුකාගාරයක්‌ ලෙස පවත්වා ගෙන යනු ලබයි. මාතර ශාන්ත මරියා කන්යාරාමයේ එවැනි කුඩා කෞතුකාගාරයක්‌ ඇත.

පුරාවිද්යා චක්රවර්තී කඹුරුපිටියේ වනරතන ස්‌වාමින් වහන්සේ වැඩ වාසය කළ ඌරාපොල රතනජෝති පිරිවෙනේ උන්වහන්සේ එකතු කළ පෞද්ගලික කෞතුක භාණ්‌ඩ එකතුව අද ඌරාපොල රතනජෝති පිරිවෙණට අනුබද්ධිත කුඩා කෞතුකාගාරයක්‌ ලෙස පවත්වාගෙන යනු ලබයි.

රාජ්ය දෙපාර්තමේන්තු වලට අමතර මෑත භාගයේදී සංස්‌ථා හා ව්යවස්‌ථාපිත මණ්‌ඩල කෞතුකාගාර පවත්වාගෙන යැමේ ප්රවනතාවක්‌ දක්‌නට ලැබේ. එය ලංකා කෞතුකාගාර ඉතිහාසයේ මෑත භාගයේ දක්‌නට ලැබෙන නව ප්රවණතාවක්‌ ලෙස හුවා දැක්‌විය හැකිය. මේ අතර ශ්රී ලංකා වරාය අධිකාරිය පවත්වගෙන යනු ලබන කෞතුකාගාරය, ශ්රී ලංකා තේ මණ්‌ඩලය මගින් පවත්වාගෙන යනු ලබන ශ්රී ලංකා තේ කෞතුකාගාරය උදාහරණ ලෙස දැක්‌විය හැකි අතර මධ්යම සංස්‌කෘතික අරමුදල මගින් පවත්වා ගෙන යනු ලබන සියලුම කෞතුකාගාර අයත්වන්නේ ද ව්යස්‌ථාපිත මණ්‌ඩල ගණයටය.

බැංකු ක්ෂේත්රයේ මහ බැංකුව ද වර්තමානයේ ලංකාව තුළ කෞතුකාගාර පවත්වාගෙන යනු ලබන ආයතනයකි. මහ බැංකුව මගින් මුදල් කෞතුකාගාරයක්‌ පවත්වාගෙන යනු ලබයි. ඔවුන්ගේ ප්රධාන කෞතුකාගාරය කොළඹ පිහිටා තිබෙන අතර ප්රාදේශීය කෞතුකාගාර දෙකක්‌ මාතර හා මහනුවර පිහිටා ඇත. මීට අමතරව ඔවුන් සතුව ජංගම කෞතුකාගාර සේවයක්‌ ද ඇත.

අතීත ලංකාව තුළ මුදල් ලෙස භාණ්‌ඩ හුවමාරු වූ අවස්‌ථාවේ සිට විවිධ යුගවලදී ලංකාව තුළ සංසරණය වූ මුදල් වර්ග හා වර්තමානයේ භාවිත වන සියලුම මුදල් නෝට්‌ටු හා කාසි මෙම මුදල් කෞතුකාගාරය තුළ ප්රදර්ශනය කෙරේ. විශේෂයෙන් මහ බැංකුව තම මුදල් කෞතුකාගාරය මූලික කරගෙන විශේෂයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් මාලාවක්‌ ද පවත්වා ගෙන යනු ලැබේ. මේ සියලු සේවාවන් මහ බැංකුව තම කෞතුකාගාර ඔස්‌සේ සිදුකරනු ලබන්නේ නොමිලයේ මහජන සේවයක්‌ පිණිසමය.

පළාත් පාලන ආයතන තම පළාතේ උරුමයට ආවේණික ලෙස කෞතුකාගාර පවත්වාගෙන යනු ලබයි. කුරුණෑගල තිබෙන වයඹ උරුම කෞතුකාගාරය වයඹ උරුමය ආරක්ෂා වන ලෙස නිර්මාණය කර ඇත. බදුල්ලේ ඌව පළාත් සභාව මගින් ද කෞතුකාගාරයක්‌ පවත්වාගෙන යනු ලැබේ. 2013 වර්ෂයේදී මාතර මහ නගර සභාව ද මාතර උයන්වත්ත, තුප්පහි වත්තේ පිහිටි ගජමන් නෝනාගේ නිවසේ ගජමන් නෝනා සහ මාතර සාහිත්ය යුගය නියෝජනය වන ආකාරයේ කෞතුකාගාරයක්‌ නිර්මාණය කිරීමට අවශ්ය සැලසුම් සම්පාදනය කරමින් සිටී.

මේ සියලුම ආයතන වලට අමතරව පෞද්ගලික කෞතුකාගාර ද ලංකාවේ තැනින් තැන ඇත. කෞතුක භාණ්‌ඩ එක්‌රැස්‌ කිරීමට ඇති කැමැත්ත නිසා සමහර පුද්ගලයින් තමන්ගේ පරම්පරාවේ වංශවත් බව පෙන්වීමේ අවශ්යතාවක්‌ ලෙස කුඩා කෞතුක භාණ්‌ඩ එකතූන් පවත්වාගෙන යනු ලැබේ. තනි පුද්ගලයෙක්‌ හෝ කිසියම් සංවිධානයක්‌ මගින් පවත්වාගෙන යනු ලබන කෞතුකාගාර පෞද්ගලික කෞතුකාගාරය ගණයට වැටේ. ගාල්ල කොටුව තුළ මුස්‌ලිම් ව්යාපාරිකයෙකු පෞද්ගලික කෞතුකාගාරයක්‌ පවත්වාගෙන යනු ලබයි. බණ්‌ඩාරනායක අනුස්‌මරණ කෞතුකාගාරය, මාර්ටින් වික්රමසිංහ අනුස්‌මරණ පදනම මගින් පවත්වා ගෙන යනු ලබන කොග්ගල මාර්ටින් වික්රමසිංහ ජනකලා කෞතුකාගාරය, රත්නපුර මැණික්‌ ව්යාපාරිකයකු පවත්වා ගෙන යනු ලබන මැණික්‌ කෞතුකාගාරය, හුණුපිටිය ගංගාරාමයේ තිබෙන කෞතුකාගාරය පෞද්ගලික කෞතුකාගාර වලට උදාහරණ ලෙස දැක්‌විය හැකිය.

ක්රි.පූ. 3 සියසේ දී ලංකාවේ ආරම්භ වුණු කෞතුකාගාර සංකල්පය ලංකාව තුළ වර්ධනය වී 1877 විධිමත් ලෙස ආයතන ගත වීමෙන් අනතුරුව අද වන විට ලංකාව පුරා විවිධ රාජ්ය හා රාජ්ය නොවන ආයතන ඔස්‌සේ ද විවිධ පුද්ගලයන් හා සංවිධාන හරහා විවිධ තේමාවන් ඔස්‌සේ වර්ධනය වී ඇත.

කෞතුකාගාර සංකල්පයේ ආරම්භයේ සිට අද වන විට ලංකාව කෞතුකාගාරය ක්ෂේත්රයේ සැලකිය යුතු දියුණුවක්‌ ලබා ඇති බව නොරහසකි. නමුත් වර්තමාන ශ්රී ලංකාව තුළ සීග්රයෙන් සිදුවන සංචාරක කර්මාන්තය හා කෞතුකාගාර ගලපා ගැනීමේ අවශ්යතාවක්‌ තිබෙන අතර එයට නිසි පරිදි සැලසුම් සම්පාදනය කළහොත් හෙට දින ලංකාවේ කෞතුකාගාර ලෝකයේ බොහෝ කෞතුකාගාර අබිබවා සිටිනු නොඅනුමානය.

උපුටාගැනීම දිවයින පුවත්පතේ

banner
administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0