• April 24, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

විස්කි නිෂ්පාදනයෙන් ලෝකයම අල්ලා ගත් ජොනී වෝකර්

විස්කි නිෂ්පාදනයෙන් ලෝකයම අල්ලා ගත් ජොනී වෝකර්
  • ඉස්තරම්ම යැයි සැලකෙන විදියට විස්කි නිෂ්පාදනය කළද ජෝන් මත්පැන් බීවේ නෑ..

 කුමක් හෝ හේතුවක් මත රට වහනවා යැයි කී විගස අප රටේ පිරිමි පාර්ශ්වයේ බොහෝ දෙනා පෝලිම් ගැසෙන්නේ, මත්පැන් අලෙවිසැල් වෙතය. කොතැනකදීවත් නැති සංයමයක් ඇතිව මත්පැන් අලෙවි කෙරෙන ස්ථානවල පෝලිම් ගැසී සිට, මත්පැන් බෝතල් ගෙන යන්නේ එය හරියට ජීවිතයට අත්‍යවශ්‍ය පානයක් මෙනි. එහෙත් ඇල්කොහොල් හෙවත් මධ්‍යසාර යනු මෙම වසංගත තත්ත්වය හමුවේ භාවිත කිරීම ඉතාම හානිදායක දෙයකි. 

අවාසනාවකට ​අප රටේ බොහෝ දෙනා ඒ තත්ත්වය වටහාගෙන නොමැති බව කනගාටුවෙන් වුවද කිවයුතු කාරණයකි. ඇල්කොහොල් හෙවත් මධ්‍යසාර භාවිතය නිසා ‘නිව්මෝනියා’ තත්ත්වය ඉතා උත්සන්න වන බව සෞඛ්‍ය වාර්තා මගින් පෙන්වා දෙනු ලබයි. එමෙන්ම මෙම වසංගත තත්ත්වය හමුවේ ‘මධ්‍යසාර’ භාවිතය ඉතාම අනතුරුදායක බව වෛද්‍ය නිර්දේශයයි.

එනිසා එය පිළිපැදීම හෙවත් විශේෂයෙන්ම මේ දිනවල මත්පැන් භාවිතයෙන් තොරව ඉන්නැයි බීමට ඇබ්බැහි වූ බොහෝ දෙනා වෙත ආයාචනය කරන අතරේ, මෙවර ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් විස්තර කිරීමට සූදානම් වන්නේ තමා නොබී අනුන්ට මත්පැන් පෙවූ මිනිසකු සහ ඔහු බිහිකළ ලෝකයම දන්නා සමාගමක් ගැන කීමටය.   

ජෝන් වෝකර් (John Walker) හෙවත් ජොනී වෝකර් (Johnnie Walker)   

මේ ජොනී වෝකර් ගැන කීමට පෙර, විස්කිවල ඉතිහාසය දෙස මොහොතකට අපි හැරී බලමු. ඇල්කොහොල් හෙවත් මධ්‍යසාර ඉතිහාසය යුරෝපයේ 12 වන ශත වර්ෂයේ සිට ආරම්භ වූවකැයි විශ්වාස කළද, හරියටම එය විකාශය වීමට පටන්ගෙන ඇත්තේ 15 වැනි සියවසේ සිටය. එහිදීත් ස්කොට්ලන්තයේ සිට එය විකාශය වීම ඇරඹී තිබේ. ‘ස්කොච්’ විස්කි යන්නෙන් ප්‍රකටව ඇත්තේ ස්කොට්ලන්තයේ සිට එලෙසින් ‘විස්කි’ නිෂ්පාදනය වූ නිසාය. 

 
ජෝන් වෝකර් උපන්නේ 1805 ජුලි 05 වැනිදා ස්කොට්ලන්තයේ කිල්මර්නොක් හිදීය. එය ඉතා රමණීය නගරයක් ලෙස සඳහන් කළ හැකිය. ජෝන් වෝකර් හට වයස අවුරුදු පහළොව වනවිට ඔහුගේ පියා වූ ඇලෙක්සැන්ඩර් අහිමි විය. 1820 දී ජෝන්ගේ පියා මිය යන විට පවුම් 417 ක් පමණ ඉතිරි කර තිබිණි. එකල හැටියට එය ඉතා විශාල මුදලක් විය.

තාත්තා ජීවත්ව සිටියදී කටයුතු කළේ ගොවියකු ලෙසය. පියාගේ මරණින් පසු ජෝන් හට ජීවිතය ගොඩ නගා ගත යුතුව තිබූ අතර, ඔහු ජීවිතය පටන් ගත්තේ ග්‍රොසරියක් හෙවත් සිල්ලර කඩයක් ඇරඹීමෙනි. මෙනිසා එකල ඔහු හැඳින්වූයේ ග්‍රෝසර් හැටියටය. එනම් සිල්ලර වෙළෙන්දා යන නාමයෙනි. එය අපේ රටේ සාමාන්‍ය සිල්ලර වෙ​ෙළඳසැලක් මෙන් නොවුණි.

වයින් සහ මත්පැන් විකිණීම ද එහිදී සිදු කෙරිණි. රම්, බ්‍රැන්ඩි, ජින්, විස්කි යන මත්පැන් විකිණීම සිදු කළ බව සඳහන්ය. ඒ වනවිට එතෙක් පැවැති බදු අයකිරීම් වෙනුවෙන් සහ මත්පැන් අලෙවිය සඳහා තිබූ නීති ලිහිල් කර තිබීම නිසා තුරුණු වියේ පසු වූ ​ජෝන් හට ඒවා අලෙවි කිරීම සඳහා ලැබුණේ හොඳ අවස්ථාවකි. ඒ හැරත් මත්පැන් පානයෙන් තොරවූ පුද්ගලයකු ලෙස කටයුතු කිරීම නිසා ජෝන් වෝකර් හට මත්පැන් අලෙවිය සඳහා අවසර ලැබී තිබිණි. එ්කත් එකතකට හරි පුදුමයකි.

එනම් තමා මත්පැන් නොබී, ඒවා අලෙවි කිරීම පමණක් කිරීමට ඔහුගේ සිත පෙළැඹ තිබීම අරුමයක් නොවේද? හැබැයි ඔහු අනෙක් අය කරන දේ කිරීමට නොගිය කෙනෙක් විය. හොඳම දේ නොහොත් ප්‍රමිතියෙන් උසස් වූ නිෂ්පාදන අලෙවි කිරීම ඔහුගේ අරමුණ විය. එනිසා බීමෙහි රස දැන සිටි බොහෝ දෙනා ජෝන්ගේ ග්‍රොසරිය වටා රොද බැඳ ගත්තේ, ඉස්තරම් විස්කි බෝතලයක් ගැනීම වෙනුවෙනි.

banner offer

ඒ වනවිට ‘සින්ගල් මෝල්ට්’ වර්ගයේ විස්කි තිබුණද, ​ජෝන් හොඳ රස එකතුවකින් කළ නිෂ්පාදනය නිසා, කොයි කා අතරත් එය වඩා ජනප්‍රිය වූවේය. ඔහුගේ එම විස්කි ප්‍රකට වූවේ ‘කිල්මර්නොක්හි වෝකර්ගේ විස්කි’ නමිනි. එලෙසින් ගමනක් එමින් සිටි ජෝන් වෝකර්, 1833 දී, එලිසබෙත් පර්විස් සමග විවාහ වුණි. ව්‍යාපාර ක්ෂේත්‍රයේදී කිල්මර්නොක්හි ඉතා ගරුත්වයට පත්ව සිටි ව්‍යාපාරිකයකු ලෙස වෝකර් නමක් දිනා සිටියේය. 1852 දී පමණ ස්කොට්ලන්තයට ගැලූ ගංවතුරින් වෝකර්ගේ මත්පැන් අලෙවි ගබඩා සියල්ල සම්පූර්ණයෙන් විනාශ විණි. පසුව යළි හිස එසැවූ ජෝන් වෝකර් එවර නැගී සිටියේ ඉහත සඳහන් කළ ‘කිල්මර්නොක්හි වෝකර්ගේ විස්කි’ නිෂ්පාදනය සමගය.   

ජෝන් වෝකර් හෙවත් ජොනී වෝකර්, මත්පැනින් තොරව කටයුතු කළ අයෙක් වුවද, වයස අවුරුදු 52 දී ස්වකීය ජීවිතයෙන් සදහටම සමුගත්තේය. 1857 දී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 52ක් ලෙස සඳහන් වුණි. ඔහුගේ මරණය කුමක් නිසා සිදුවූයේද යැයි වාර්තාවල හරි හැටි සඳහන් නොවේ.   

ජෝන් වෝකර්ගෙන් පසු ඇලෙක්සැන්ඩර් වෝකර්   

ජෝන් වෝකර්ගේ පියාගේ නම ඇලෙක්සැන්ඩර් විය. තාත්තාට ගරු කිරීම වෙනුවෙන් ජෝන් වෝකර් තම පුතුට නම් තැබුවේ ඇලෙක්සැන්ඩර් වෝකර් යනුවෙනි. ඉගෙනීමෙන් පසු ඇලෙක්සැන්ඩර් ග්ලාස්ගොව් හි තේ අලෙවි ස්ථානයක ආධුනික පුහුණුව සඳහා ගියේය. තේ රස සහ තේ රස මිශ්‍රණ කලාව ගැන බොහෝ දේ එහිදී ඔහු උගත්තේය. ඉනික්බිතිව තාත්තාගේ ව්‍යාපාරය සියතට ගත් ඔහු තාත්තාට වඩා ව්‍යාපාරික ක්ෂේත්‍රය දෙස පුළුල්ව බලන්නට පටන් ගත්තේය.

තේ කලාවෙන් උකහා ගත් දේ ඔහු විස්කි කලාවට යොදාගෙන ‘ඕල්ඩ් හයිලන්ඩ් විස්කි’ ලෙස නිෂ්පාදනයක් එළිදැක්වූයේය. ‘ජොනී වෝකර් බ්ලැක් ලේබල්’ ලෙස පසුව හැඳින්වූයේ එම විස්කි නිෂ්පාදනයන්ය. සිල්ලර බඩු වෙ​ළඳාමෙන් ඔබ්බට ගොස් පුළුල් ව්‍යාපාරයකට මාවත ඇලෙක්සැන්ඩර් සකසා ගත්තේ එලෙසිනි. තාත්තාට වඩා පියවර කීපයක් ඉදිරියට තබා කටයුතු කළ ඇලෙක්සැන්ඩර් වෝකර්ගෙන් පසුව සැබෑ ලෙස ජොනී වෝකර් නාමයට අරුතක් ගෙන දුන්නේ වෝකර් පවුලේ සිව්වැනි පරම්පරාවය.

එනම් ඇලෙක්සැන්ඩර් වෝකර්ගේ පුතුන් දෙදෙනා විසිනි. වෝකර්ගේ පුතු ඇලෙක්සැන්ඩර් ප්‍රකටව සිටියේ ‘ඇලෙක්’ යන නමිනි. ජොනී වෝකර් සහ පුතු ඇලෙක්සැන්ඩර් වෝකර්ගේ මරණ සැසඳීමේදී, එකතකට එය දෛවෝපගත සිදුවීම් මෙනි. පියා මෙන් පුතුද මිය ගියේ වයස 52 දීය. 1889 ඇලෙක්සැන්ඩර් වෝකර් එලෙසින් මියගිය පසු වෝකර් පරම්පරාවේ සිව්වැනි පරම්පරාව ලෙස ව්‍යාපාරය අතට ගත්තේ ඇලෙක්සැන්ඩර්ගේ පුතුන් දෙදෙනාව සිටි, ජෝන් පීටර්සන් වෝකර් සහ දෙවැනි ඇලෙක්සැන්ඩර් වෝකර් පුතුය. 

 
ඇලෙක්සැන්ඩර්ගේ වැඩිමල් පුතු වූ ​ජෝජ් පීටර්සන් උපන්නේ 1864 වසරේදීය. පවුලේ ව්‍යාපාරය තම මළනුවන් වූ දෙවැනි ඇලෙක්සැන්ඩර් වෝකර් සමග ඉදිරියට ගෙන ගිය ජෝජ් ඊට අලුත් හැඩයක් ගෙන දුන්නේ ලන්ඩන්හි කාර්යාලය විවෘත කරමිනි. 1888 දී වෝකර්ලාගෙ ලන්ඩන් ව්‍යාපාරය විවර කළ පසු බෙදාහැරීම් හා අලෙවි අංශය බාරව ජෝජ් කටයුතු කළ අතර, ඔහුගේ මල්ලී දෙවැනි ඇලෙක්සැන්ඩර් විස්කි මිශ්‍රණ නිෂ්පාදන අංශය බාරගෙන කටයුතු කළේය.   

ජොනී වෝකර් ලේබලය   

ව්‍යාපාර කටයුතු පුළුල් කළ පසු, ඔවුනගේ විස්කි නිෂ්පාදන සඳහා වන ලේබලය හෙවත් ලාංඡනය හඳුන්වා දීමට ජෝජ් පීටර්සන් කටයුතු කළේ 1909 වසරේදීය. තොප්පියක් පැලඳගත් අත්වාරුවක් සහිතව ඇවිද යන මිනිසකුගේ රුව රැගත් එම ලාංඡනය ජොනී වෝකර් ස්කොච් විස්කි නිෂ්පාදනවල ප්‍රධාන සලකුණ විය.  

JWalker_2015_logo
දිනෙක ජෝජ් පීටර්සන් එවකට සිටි ප්‍රකට කාටූන් චිත්‍ර ශිල්පියකු වූ, ටොම් බ්‍රවුන් සමග දිවා ආහාරය ගනිමින් සිටියේය.   

“තමුසෙ හොඳ වැඩකාරයෙක්නෙ. හරි පුළුවන්නම් අපේ විස්කි බ්‍රෑන්ඩ් එකට​ හොඳ ලෝගෝ එකක් හදන්නකො.”   

කෑම කන අතරේ ජෝජ් පීටර්සන්, කාටූන් චිත්‍ර ශිල්පී ටොම් බ්‍රවුන් හට අභියෝගයක් බාර කළේය.   
අභියෝගයට – අභියෝගය බාර ගැනීමට ටොම් බ්‍රවුන් මාස ගණන් වැය කළේ නැත. දිවා ආහාරය නිම වනවිට, අවන්හලේ කෑම වට්ටෝරු පතෙහි පිටුපස දළ වශයෙන් ලාංඡනයක් ඇන්දේය. පසුව එය හොඳ නිමාවක් බවට පත්වී ජොනී වෝකර් විස්කි නාමයේ සද‌ාතනික සලකුණ බවට පත් වූයේය. ජොනී වෝකර් රෙඩ් ලේබල්, බ්ලැක් ලේබල්, වයිට් ලේබල් ලෙස ඒ සමගම වෝකර්ස්ලාගේ අලුත් විස්කි නිෂ්පාදන වෙළඳපළට හඳුන්වාදීම සිදු කෙරිණි.   

ජොනී වෝකර්ගේ බාල මුණුපුරා වූ දෙවැනි ඇලෙක්සැන්ඩර් වෝකර් යනු ඔවුනගේ ‘විස්කි’ නාමය වඩාත් අරුත්බර කළ චරිතය විය. පළමු ලෝක යුද සමයේදී සුදු ලේබලය සහිත විස්කි නිෂ්පාදන අත්හිටවූ අතර, ජොනී වෝකර් ස්වින්ග් ලෙස නව නිෂ්පාදනයක් හඳුන්වාදීමට ඔහු කටයුතු කළේය. වෝකර් පරම්පරාවට ලොකු ගෞරවයක් ලබාදීමට සමත් වූයේද, මෙම දෙවැනි ඇලෙක්සැන්ඩර් වෝකර් ය.

නයිට් නාමයෙන් පුද ලද ඔහු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් වෝකර් (II) ලෙස හැඳින්වුණි. යුදෙව් විරෝධී අයිතිය උදෙසා වූ කඳවුරේ සාමාජිකයකු ලෙස ඔහු ක්‍රියා කළ අයෙක් විය. අවුරුදු 81 ක් ආයු වළඳා ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් වෝකර් (II) මියගියේ 1950 වසරේදීය. අනාගත ​ජොනී වෝකර් ස්කොච් විස්කි නිෂ්පාදන මිශ්‍රණ වට්​ටෝරුව ඉතිරි කර, නැතහොත් වර්තමානයට දායාද කරමින් ඔහු මියගිය බව සඳහන් කළ හැකිය.   

ජොනී වෝකර් දැන් අයිතිය ඩියාජියෝ (Diageo) සමාගමටය   

වත්මනෙහි ජොනී වෝකර් ස්කොච් විස්කි නිෂ්පාදන ඇතුළු තවත් වෙළෙඳ නාමයන්ගෙන් යුතු මත්පැන් නිෂ්පාදන ආයතනයක් වන ‘Diageo’ මෙම ලෝ ප්‍රකට ‘විස්කි’ නිෂ්පාදනවල හිමිකාරීත්වය දරයි. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පාක් රෝයල්හි එහි මූලස්ථානය ස්ථාපිතව තිබේ. රටවල් 180ක පමණ ඔවුනගේ වෙළෙඳ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, නිෂ්පාදන කර්මාන්තශාලා රටවල් 140ක පමණ ස්ථාපිත කර ඇත. 2017 දී චීනයේ ‘Kweichow Moutai’ සමාගම ලෝකයේ මත්පැන් නිෂ්පාදන වෙළඳාමේ ප්‍රමුඛයා බවට පත්වීමට පෙර ලෝකයේ ප්‍රමුඛයා වූයේ මෙම ‘ඩියාජියෝ’ සමාගමය.  

Internet-Download-Manager

විස්කි නිෂ්පාදනයෙන් ලෝකයම අල්ලා ගත් ජොනී වෝකර් ස්කොච් විස්කි සමාගම ගැන වූ විස්තරවලින් පසුව මෙතෙක් ලෝකයේ නිෂ්පාදනය වී වැඩිම මිලකට අලෙවි වූ මත්පැන් නිෂ්පාදන කීපයක් ගැන විස්තර අපි සොයා බලමු.  

මේ දක්වා ලෝකයේ වැඩිම මිලකට අලෙවි වූ මධුපාන නිෂ්පාදන කීපයක්  

ලිගැසි ඇන්ගොස්තුරා නමැති ‘රම්’ නිෂ්පාදනය එක් බෝතලයක් ඩොලර් 25,000 කට අලෙවි වුණි. (ලංකා මුදලින් ලක්ෂ 50කට පමණ)   

1811, Chateau D’yquem නමැති වයින් වර්ගයෙහි එක් බෝතලයක් ඩොලර් 30,000කට (ලක්ෂ 60කට පමණ) අලෙවි විණි.   

‘Penfolds Ampoule වයින් නාමයෙහි වතාවක් බෝතල් 12ක් පමණක් නිෂ්පාදනය වූ අතර, එක් බෝතලයක් අලෙවි වූයේ ඩොලර් 170,000ක මුදලකටය. (රුපියල්වලින් නම් කෝටි තුනහමාරකට ආසන්නය)   

බොම්බේ සෆායර් ජින් බෝතලයක් වතාවක (Revelation වර්ගයේ) ඩොලර් 200,000කට අලෙවි විණි.   
‘Armand de Brignac Midas’ නමැති ෂැම්පේන් වර්ගයේ බෝතලයක් ඩොලර් 215,000කට අලෙවි වී තිබේ. 

 
ඩැල්මෝර් (Dalmore) 62 වර්ගයේ විස්කි බෝතලයක් ඩොලර් 215,000කට අලෙවි වූ අතර, එම වර්ගයේ බෝතල් 12ක් පමණක් නිෂ්පාදනය කෙරිණි.   

වසර 64ක් පැරණි The Macallan 64 වර්ගයේ විස්කි බෝතලය ඩොලර් හාර ලක්ෂ හැටදහසකට (460,000) අලෙවි වී තිබේ.   

ඩිවා වොඩ්කා (Diva Vodka) බෝතලයක් ඩොලර් මිලියනයකට අලෙවි වූ වග සඳහන්ය.   

Henri the 4th Dudognon Heritage Cognac Grande Champagne බෝතලයක් වතාවක් ඩොලර් මිලියන 2කට අලෙවි විණි. රුපියල්වලින් මොන තරම් නම් මුදලක්ද නේද?   

මෙතෙක් ලොව වැඩිම මුදලකට අලෙවි වූ මත්පැන් වර්ගයක් ලෙස Tequila Ley 925 නමැති වර්ගය ඩොලර් මිලියන 3.5 කට අලෙවි විණි. 

tequila-ley-925-diamond  

ඉහත කී මේ සියලු නිෂ්පාදන සඳහා වූ බෝතල මැණික්, දියමන්ති, ප්ලැටිනම්, රත්තරන් වැනි ලෝහ භාවිතකොට තැනූ ඒවාය.   

මෙලෙසින් මොන තරම් නම් ඉස්තරම් යැයි කියා හෝ ඉස්තරම් නිෂ්පාදන ලෙස නිෂ්පාදනය වුවද, මත්පැන් යනු මිනිස් සිරුරේ ලෙඩ ගොඩකට මූලික වන ඇබ්බැහි වීමකි. ලෝකයේ මත්පැන් වැඩිපුරම බොන්නේ, බටහිර රටවල ජනතාවය. ඒ අතරින්, බෙලාරුස් (බෙලෝ රුසියන්), මෝල්දෝවා, ප්‍රංශය හා චෙක් රිපබ්ලික් යනු බොන්නෝ වැඩිපුරම සිටින රටවල්ය.

‘චෙක්’ යනු බීමට වඩාත් ඇබ්බැහි වූ පිරිසක් සිටින තෝතැන්නය. ස්වීඩනය, පින්ලන්තය මත්පැනට ලොල් වූ වැඩි පිරිසක් සිටින අතර, එනිසා වූ මරණ ද වැඩිපුර වාර්තා වේ.   

මත්පැන් පානය නිසා බොහෝ දෙනා මිය යන්නේ ‘නිව්මෝනියාව’ වැළඳීම සහ ආසියානු කලාපයේ බොහෝ දෙනා මිය යන්නේ ‘සිරෝසීස්’ රෝගයට ගොදුරු වීමෙනි. ලිවර් එක හෙවත් අක්මාවට මධ්‍යසාර ඉතා අහිතකරය. සමහරු හිතන්නේ, මධ්‍යසාර භාවිතය නිසා සිරුර කෙට්ටු වන වගය. එහෙත් වෛද්‍යවරු පවසන්නේ එය අසත්‍යයක් බවය.

එක්සත් ජනපදයේ මධ්‍යසාර සඳහා ඇබ්බැහි වූවන් මිලියන 23.5ක් පමණ සිටිතැයි සඳහන් වේ. කොරෝනාවෙන් මිය යෑමට මත්පැන් භාවිත කරන අයගේ ප්‍රතිශතය ඉහළය.   

සාමාන්‍ය පරිදි හෝ අසාමාන්‍ය ලෙස මත්පැන් සඳහා ඇබ්බැහි වූ කිසිවකු නීරෝගි යැයි විටෙක සිතන්නට පුළුවන. එහෙත්, ඒ ඕනෑම කෙනකු කුමක් හෝ ආබාධයකට, රෝගයකට ගොදුරු වීමේ අවකාශය වැඩි වග වෛද්‍ය වාර්තා මගින් සඳහන් කරයි.   

එනිසා ‘බීම’ බීමක් කර නොගෙන ජීවිතය ගෙවීමට කවුරු කවුරුත් පුරුදු විය යුතුය. අප වැනි සැමදාම දියුණු වෙමින් පවතින ලේබලයේ ඇති රටක, ජනතාවගේ ‘මනස’ ඉතා නිරවුල් විය යුතුය. නැතහොත් කිසිදා අප රට දියුණුව කරා රැගෙන යා නොහැකිය. එනිසා, බීමත්කම ජීවිතය කර නොගෙන ජීවිතයට අරුතක් දීම කොයි කාගේත් වගකීමක් වේ.

උපුටා ගැනීම ලංකාදීප පුවත් පත

 

 

Related Articles