සමනල අඩවියට අධිපති

සිරිපා සමය සමග කියැවෙන වැදගත්ම කරුණ වන්නේ සුමන සමන් දෙවියෝය. සුමන සමන් දෙවියන්ගේ දේව රූපයත් දේවාභරණත් ශ්‍රීපාදස්ථානයට වැඩම කිරිමෙන් පසු වාර්ෂික සිරිපා වන්දනාවාරය ආරම්භ වීම පැවත ආ සිරිතයි. ඒ කාලය සිරිපා වාරයයි. 
හය මාසයක් පවතින වන්දනා වාරය ඊළඟ අවුරුද්දේ වෙසක් පොහොය දිනයෙන් අවසන් වන්නේ සුමන සමන් දෙවියන්ගේ දේව රූපත් දේවාභරණත් ශ්‍රීපාදස්ථානයෙන් ආපසු වැඩම කිරිමෙන් අනතුරුවය. ඒ කාලය සිරිපා අවාරයයි. 
ඒ නිසා සිරිපා වන්දනා වාරයත් සුමන සමන් දෙවියනුත් අතර ඇත්තේ එකම බැඳීමකි. මේ සුමන සමන් දෙවියන් කවුද? සුමන් සමන් දෙවියන් ගැන බොහෝ දෙනා දන්නේ බුදුරජාණන් වහන්සේ කැළණියට වැඩි අවස්ථාවේ දහම් අසා සෝවාන් ගිය දෙවියෙක් බවත්, ඒ දෙවියන්ගේ ආරාධනාවට දෙවියන්ගේ විමානය පිහිටි සමන්තකූඨ පර්වත මස්ථකයට වැඩම කර වම් සිරිපතුල පිහිටවු බවත් ය. 
ඊට අමතරව සමන් දෙවියන් යනු ලංකාවේ ආදිවාසී ගෝත්‍රයේ නායිකාව වූ මහ ලොකු කිරි අම්මාගේ සහෝදරයා බවත් ජනතාව අතර ඇති කතාවයි. එසේම ප්‍රාදේශීය පාලකයෙකුව සිට මියගිය පසු දේවත්වයට පැමිණ සුමන සමන් නමින් සිරිපා අඩවියට අධිගෘහිතව වැඩවසන බවටද ජන විශ්වාසයේ පවතී. බුදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි නිසා අණවිණ, කොඩිවිණ, හදි හූනියම් නොකරන ජනතාවට සෙත් පතන දෙවි කෙනෙකු බව ජනතාවගේ පූර්ණ විශ්වාසයයි. 
ඒ සුමන සමන් දෙවියන් ගැන වැඩි දෙනෙකු හිතන හැටිය. ඇත්තටම සුමන සමන් දෙවියන් කවුද? 
සුමන, සුපිරිසුදු මනසක් ඇති තැනැත්තා යන අරුත ගෙනෙන ලංකාව ආරක්‍ෂාකරන සතරවම් දෙවිවරුන්ගෙන් කෙනෙකි. මහාචාර්ය දයානනද සෝමසුන්දර සහ එච්.එම්.ජයන්ත විජේරත්න යන මහත්වරු විසින් සම්පාදිත සමනලගිරි වතගොත ග්‍රන්ථයේ ජයන්ත විජේරත්න මහතාගේ ලිපියක සඳහන් වෙන්නේ සුමන සමන් දෙවිඳුන් යනු කකුසඳ, කෝණාගම, කාශ්‍යප ගෞතම බුදුවරුන්ගේ කාලවල සුමන සමන් දෙවියන්ගේ පෙර ආත්ම භව ගැන මාධ්‍යවේදී ගාමිණී සූරියආරච්චි මහතා විසින් රචිත බිම්තැන්නේ පුදබිම් නම් ග්‍රන්ථයේ සඳහන් වන බවයි.   
ගාමිණී සුරියආරච්චි මහතා බිම්තැන්නේ පුදබිම් ග්‍රන්ථයට ඒ තොරතුරු ගෙන ඇත්තේ මහා සුමන පුරාවෘත නම් පුස්කොළ පොතක තිබූ තොරතුරු බවද එහි සඳහන් වෙයි. වනවාසී සුභූති නම් හිමිනමක් ් දඹදෙනි යුගයේ විසූ දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි:ව: 1228-1268) රජ සමයේ ඒ පුස්කොළ පොත් ලියා ඇතිබවත් ජයන්ත විජේරත්න මහතාගේ ලිපියේ දැක්වේ 
මහා දේව, මහා සුමන සහ ශ්‍රී සුමනදේව යනුවෙන් ආත්ම තුනකදී හඳුන්වා ඇත්තේ මේ සමන් දෙවිඳුන් බවත් ගෞතම බුදු රජාණන් වහන්සේගෙන් බණ 
අසා සෝවාන් ඵලයට පැමිණි පළමු හෙළයා සුමන (සමන්) දේවියන් බවද එම ග්‍රන්ථයේ දැක්වෙයි. මහියංගනය, සමනල අඩවිය, ඇතුලු විශාල ප්‍රදේශයක් වු මහානාග වන උයන සුමන සමන් නම් දේව ගෝත්‍ර නායකයෙක් සමනලකන්ද අගනුවර කරගෙන පාලනය කළ බව මහා වංශයේ සඳහන් වෙයි. ඒ සුමන සමන් යනු අපි කතා කරන සුමන සමන් දෙවියන්ය. ආදිවාසීන්ගේ නායිකාව ලෙස සැලකෙන මහලොකු කිරිඅම්මා වු ලොකු මහා දේවී, මහලොකු මෑණියෝ සුමන සමන් දෙවියන්ගේ අක්කාය. ඌව පළාතේ මොණරාගල තඹාන ප්‍රදේශයේ විසූ බව කියන චූල සුමන සුමන සමන් දෙවිඳුගේ මල්ලී බවද ඉතිහාස ග්‍රන්ථවල දැක්වේ. 

සුමන සමන් දෙවියන් යනු දඹදිව විසූ සිද්ධාර්ථ කුමරු (බෝධිසත්ත්වයන්) සුමන සමන් දෙවිඳුගේ මාමණ්ඩිය බව පර්යේෂකයන් විසින් තොරතුරු සොයගෙන ඇති බවද ජයන්ත විජේරත්න ලේඛකයා සිය ලිපියෙන් විස්තර කරයි.   
ලංකාවේ ඉතිහාස තොරතුරු ඇති වංශ කතාවල සඳහන්වන ගෝඨාභය කුමරු විසින් මරා දමන ලද දස බෑ සොහොයුරන් සුමන් සමන් කුමරුගේ පුත්‍රයන් බව ද සඳහන්ය. බෝවත්තේගල සෙල් ලිපියේ දස භාතික පුතුන් ලෙස සඳහන් වන්නේ මේ සුමන සමන් කුමරුගේ දරුවන් බව පර්යේෂකයන් සඳහන් කරන බව සමනලගිරි වතගොත කෘතියේ දැක්වෙයි. 
සුමන සමන් යනු සිව් හෙළයට අයත් වැසියෙකි. දේව, යක්‍ෂ, රාක්‍ෂ සහ නාග යන ගෝත්‍ර හතර සිව් හෙළයයි. විජය කුමරු එන්නට පෙර රට පාලනය කලෝ දේව ගෝත්‍රයයි. ගොවිතැන් කර්මාන්තයේ නියැලුනු අය යක්‍ෂ සහ රාක්‍ෂ ගෝත්‍රිකයන්ය. ධීවර කර්මාන්තයේ නියැලන අය නාග ගෝත්‍රිකයන්ය. එ අනුව සමනළ අඩවිය පාලනය කළ දේව ගෝත්‍රයේ ප්‍රාදේශීය පාලකයා සුමන සමන් 
කුමරුය. මරණයෙන් පසු සුමන සමන් නමින් දේවත්වයට පැමිණියේ මේ ප්‍රාදේශීය පාලකයා බවද සඳහන්ය. 
සුමන සමන් දෙවිඳුන් ගැන වංශකතා, ජනකතා, ඉතිහාස කතා ආදියේ මෙන්ම මුඛ පරම්පරාවෙන් එන කතා ද බොහෝමයකි.  ඒවා කෙටියෙන් ලියන්නට අපහසුය. 
අයහපත් දේ කරන්නට යන කෙනෙකුට සුමන සමන් දේවියන්ගේ අඩවියේදී යහපතක් නොවන බවට විශ්වාසයක් පවතී. ශ්‍රීපාද අඩවියේ එවැනි කතා ද බොහෝමයකි. 
දකුණු අතින් අභය මුද්‍රාවද, වම් අතින් නෙලුම් මලක් ද ගෙන  රන්වන් සමකින් වර්ණවත් වු, හිස මත රන් ඔටන්නක් පැළඳ, සුදු ඇත් වාහනෙන් සැර සරන සුමන සමන් දෙවියන් දෙව්ලොව සිට ලෝකවාසී සත්ත්වයාට පිහිට වන බව ගැමියන්ගේ මුවින් පිටවන ‘සමන් දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාවයි’ යන වදන්වලින්ම හැගීයයි. 
උපුටා ගැනීම – ලංකා දීප 
සටහන – අජිත්ලාල් ශාන්තඋදය