• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

අබිරහස් Zanetti දුම්රියේ අතුරුදහන්වීම

අබිරහස් Zanetti දුම්රියේ අතුරුදහන්වීම
මේ කියන්න හදන කතාවනම් අතීතයේ සිදු වෙච්ච අතිශය අබිරහස් සිදුවීමක්.
අද වෙනතුරුත් කිසිම හෝඩුවාවක් නැති වුණ “ඉතාලි දුම්රියේ අතුරුදහන්වීම” ගැනයි මේ ලිපිය.
1911 වර්ෂයේ ජුලි මස 14 වැනිදා ඉතාලියේ Zanetti කියන සමාගම අලුත් දුම්රියක් හඳුන්වා දෙනවා. ඒ හා සමගාමීව ඔවුන් තීරණය කරනවා මේ දුම්රියේ මඟින සිය දෙනෙකුට නොමිලේ ගමන් පහසුව සලසා දෙන්න. ඒ ඔවුන් අලුත් දුම්රියක් එක් කළ සතුට සමරන අරමුණින්.
ඉතින් ඒ විදිහට එක්කහු වුණු මඟින් 106 දෙනෙකු එදා දුම්රියේ ගමන් කරමින් හිටියා. ආරම්භයේ ඉඳලම ඔවුන් ඉඳලා තියෙන්නෙ සතුටින් ඉපිලෙමින්. පිරිසක් කෝපි පානය කරමින්. ඒ කොහොම වුණත් ඔවුන්ගේ සතුට නොසිතූ මොහොතක සුණු විසුණු වෙන්න පටන් ගන්නවා.
උමං මාර්ගයක් තුළට ඇතුළු වන මෙම දුම්රිය කිලෝමීටරයක පමණ දුරක් ගමන් කරද්දි අතුරුදහන් වෙනවා. ඇත්තටම දුම්රියට මොකද වුණේ කියන්න කවුරුත්ම දන්නෙ නැහැ. ඒ ස්ථානයට ආපු පොලිස් නිලධාරින් මහත් වෙහෙසක් දැරුවා වුණත්.. දුම්රිය හොයාගන්න බැරිවෙනවා.
උමං මාර්ගයට ඇතුළු වුණු දුම්රිය අනිවාර්යෙන්ම පිටවෙන්න තියෙන්නෙ එකම තැනක් විතරයි. එහෙමනම් දුම්රියට මොකද වුණේ..? කවුරුන් හෝ අතුරුදහන් කළාද? එහෙමනම් පැහැරගත්තාද? හොඳයි… ඒක එහෙම කරන්නෙ කොහොමද? උමඟක් ඇතුළතදී? මේක මහා විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා.
බලධාරින් උමඟ ඇතුළත් සූක්ෂමව පරීක්ෂා කළා වුණත් ඇත්තටම මොකද්ද සිද්ධ වුණේ කියලා හොයාගන්න ඒ අය අපොහොසත් වුණා. ඒ අතරතුර තවත් අරුම පුදුම සිදුවීමක් වෙනවා. ඒ තමයි දුම්රිය අතුරුදහන් වෙන්න මොහොතකට කලින්… මඟින් දෙදෙනෙක් දුම්රියෙන් පැනලා ඇවිත් තියනවා.
මේ දෙන්නාගෙන් එක් අයෙකු ඉතාලි පුවත්පතකට කියා තිබුණේ එක්වරම කළු දුමකින් දුම්රිය වැසී ගිය බවයි. අනිත් දේ උමඟ ඇතුළතින් ගමන් කරද්දි දුම්රිය ගමන් කර තිබෙන්නෙත් ඉතාම හෙමින්.
මේ මඟීන් දෙදෙනා මේ සිදුවීමෙන් කොපමණක් කම්පනයට පත් වෙලාද හිටියද කිව්වොත් කාලයක් යනකන් ඔවුන් මානසික ප්‍රතිකාර ලබා ගත් බවත් සඳහන් වනවා. කොහොම වුණත්.. මේ අබිරහස් සිදුවීමට විසඳුමක් නොලැබෙන තැන බලධාරින් තීරණය කරනවා උමං මාර්ගය සදාකාලිකවම වහලා තියන්න.
ඔය අතරතුර දුම්රියට සිදුවුණා යැයි කියන්න පුළුවන් විවිධ දේ පිළිබඳ පුද්ගලයින් න්‍යායන් ගොඩ නඟලා තියනවා. මධ්‍යතන යුගයේ මේ හා සමානම දුම්රියක් ගැන ලේඛනගත සඳහනක් තියෙනවලු. ඒ වගේම ඒ දුම්රිය ඇතුළෙත් මහත්මා ඇඳුමින් සැරසුණු පුද්ගලයින් හිටියලු. මේ සඳහන තියෙන්නේ සජිනෝ කියන පවුලේ. මෙතන තියෙන පුදුම සහගත දේ තමයි මේ දුම්රියෙන් පැනලා දිවි බේරගත්තු එක් අයෙකුගේ නම සජිනෝ. ඇත්තෙන්ම මේ කතා ජනප්‍රවාදම නෙවෙයි.
ඒ වගේම 1840 දී මෙක්සිකෝවේදී මේ දුම්රිය දැක්කා කියලා තවත් කතාවක් තියනවා. ප්‍රාදේශීය රෝහලක මනෝ චිකිත්සකයෙක් ඒ ගැන සටහනක් තියලා තියෙන බවයි සඳහන් වෙන්නේ. ඉතාලි ජාතිකයින් 104 දෙනෙකුට මේ රෝහෙලේදී ප්‍රතිකාර කර ඇති බව එම සටහනේ සඳහන්. එතනින් එක් අයෙකුගේ අතේ 1907 කියලා සඳහන් කරපු දුම්වැටියක් තිබූ බවද වාර්තා වනවා.
මේ හා සමාන තවත් සිදුවීමක් තමයි 1955 ඔක්තොම්බර් මාසයේ 29 වැනිදා යුක්රේනයේ එක්තරා දුම්රිය ස්ථානයක දුම්රිය සේවකයෙක් මේ දුම්රිය දැක තිබෙනවා. ඒ මොහොතේ දුම්රියක් පැමිණීමට නොතිබුණූ නිසාම ඉතා උනන්දුවෙන් මේ සේවකයා ඒ දිහා බලන් බලන් ඉන්නවා. ඔහු කියලා තියෙන විදිහට මේ දුම්රියේ රියදුරෙක් ඉඳලා නැහැ. ඒ වගේම මඟීන් සිටින තැන් ආවරණය කර තිබුණු බවත් ඔහු කියා තිබෙනවා. මේ තමයි ආසන්නයේදී මේ දුම්රිය ගැන අහන්න දකින්න ලැබුණූ දේ.
ඉතින් මේ හැම කතාවක්ම කවුරුත් බැහැර කර නැහැ. කොහොම වුණත් දුම්රියට ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියලා අන්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමකුත් සිදු කර තිබෙනවා. ඒ මතය තමයි පොළවෙන් මතු වූ චුම්බක බලය හා දුම්රියේ කෘතිම චුම්බක බලය එකට ගැටීමෙන් කාල සිදුරක් හැදිලා ඒ තුළට දුම්රිය වැටුණා කියන පැහැදිලි කිරීම.
තව දුරටත් බොහෝ පිරිස් විශ්වාස කරනවා මේ Zanetti කියන දුම්රිය කාල තරණය කරමින් ඉන්න බව. කොහොම වුණත් මේ Zanetti දුම්රියට මොකද්ද සිද්ධ වුණේ මොකද්ද කියන්න කවුරුත් දන්නෙ නැහැ. විද්‍යාවට පටහැනි සිදුවීමක් නිසාම මේ ගැන බොහෝ පිරිසක් උනන්දුවෙන් හොයලා බලලා තියනවා. ඒ වුණත් ඒ කාටවත් මේ දුම්රියට ඇත්තටම සිද්ධ වුණ දේ හොයාගන්න ලැබිලා නැහැ.

Related Articles