පිරිනිවන් පෑ බුදුරජුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළ ආකාරය

භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී, පිරිනිවන් පෑම ත් සමඟ ම
බිහිසුණු, ලොමුදහගැනීම් ඇති මහත් පොළොව සැලීමක් වූයේ ය.
දෙව්බෙරහු ද පැලී ගියාහු ය.
අකල් වැස්සක් ඇදහැලුණි
භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී එහි යම් රාගය දුරු නොකළ භික්ෂූහු සිටියාහු ද, ඔවුහු
‘අහෝ! ඉතා ඉක්මනින් භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක.
අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක.
අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ යි
ඇතැම් කෙනෙක් දෑත් හිස බැඳ, බිම පෙරළෙමින් හඬා වැටෙත්. 
යම් ඒ භික්ෂූහු වීතරාගී ව සිටියාහු ද, ඔවුහු සිහියෙන් හා නුවණින් යුක්ත ව හේතුප්රත්යයන්ගෙන් හටගත් සංස්කාරයෝ අනිත්යයහ. ඒවායේ නිත්ය බවක් කොයින් නම් ලබන්නට දැයි ඉවසා සිටිත්.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“පලක් නැත ඇවැත්නි, ශෝක නොකරව්. හඬා නොවැටෙව්. ඇවැත්නි, මෙය භාග්යවතුන් වහන්සේ කලින් ම නොවදාළ සේක් ද? ප්රිය වූ, මනාප වූ සියල්ලෙන් ම ඉවත් වීම, වෙන් වීම, වෙනස් ස්වභාවයකට පත් වීම ඇත්තේ ය. ඇවැත්නි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, සකස් වූයේ ද, එය බිඳී යන ස්වභාවයෙන් යුක්ත වෙයි. ඒකාන්තයෙන් එය නොබිඳේවා යන්න කොයින් ලබන්නට ද? මෙය දකින්නට නොලැබෙන්නකි. ඇවැත්නි, දෙවියෝ නොසතුටු බස් කියති.”
“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, කෙබඳු වූ දේවතාවෝ මෙනෙහි කරත් ද?”
“ඇවැත් ආනන්දයෙනි, අහසෙහි පෘථිවි සංඥා ඇති දේවතාවෝ සහ පෘථිවියෙහි පෘථිවි සංඥා ඇති දේවතාවෝ සිටිති. ඔවුහු කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ කියා ය.
යම් ඒ දේවතාවෝ වීතරාගී වෙත් ද, ඔවුහු සිහියෙන්, නුවණින් යුක්ත ව, ‘හේතු ප්රත්යයෙන් සකස් වූ සංස්කාරයෝ අනිත්යයහ. මෙහි නිත්ය දෙයක් කොයින් ලබන්නටදැ’යි ඉවසා සිටිති.”
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ත්, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත්, ඒ රාත්රියෙහි ඉතිරි කොටසෙහි ධර්ම කථාවෙන් කල් ගෙවූහ. එවිට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූහ.
“යන්න ඇවැත් ආනන්දයෙනි, කුසිනාරාවට. කුසිනාරාවට පිවිස කුසිනාරාවැසි මල්ල රජදරුවන්ට දැනුම් දෙන්න. ‘වාසෙට්ඨයෙනි, භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. දැන් යමකට කාලය නම් දත මැනැව.”
“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට පිළිවදන් දී, පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්රය හා සිවුර ගෙන තමා දෙවැන්නෙකු කොට කුසිනාරාවට පිවිසියහ.
එසමයෙහි කුසිනාරාවැසි මල්ලවරු ඔවුන්ගේ කිසියම් කටයුත්තක් අරභයා රැස්වීම් ශාලාවෙහි රැස්වූවාහු වෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කුසිනාරාවැසි මල්ලවරුන්ගේ රැස්වීම් ශාලාව යම් තැනක ද, එහි පැමිණියහ. පැමිණ කුසිනාරාවැසි මල්ලයන් හට මෙය දැනුම් දුන්හ.
“වාසෙට්ඨයනි, භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. යමකට දැන් කාලය නම්, එය දැනගත මැනැව” යි.
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ මේ වචනය ඇසූ මල්ලවරු ත්, මල්ල පුත්රයෝ ත්, මල්ල ලේලිවරුත්, මල්ල බිරින්දෑවරුත් දුකට පත් ව, දුකට පත් සිත් ඇති ව, චිත්ත ශෝකයෙන් යුතුව ඇතැම් කෙනෙක් කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ කියා ය.
ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු පුරුෂයන්ට අණ කළහ.
“එසේ වී නම් මිත්රවරුනි, කුසිනාරාවෙහි සුවඳ හා මල් ද, සියළු සංගීත භාණ්ඩයන් ද රැස් කරව්.” ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු සුවඳ හා මල් ද, සියළු සංගීත භාණ්ඩයන් ද, සිනිඳු වස්ත්ර යුගල පන්සියයක් ද ගෙන මල්ලවරුන්ගේ උපවර්තන සල්වනය යම් තැනක ද, භාග්යවතුන් වහන්සේගේ ශරීරය යම් තැනක ද, එතැනට පැමිණියාහු ය. පැමිණ භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරයට නැටුම්, ගැයුම්, වාදනයන්ගෙන් ද, මලින් සුවඳින් ද, සත්කාර කරමින්, ගෞරව කරමින්. බුහුමන් දක්වමින්, පුදමින්, වියන් බඳිමින්, රවුමට ශාලාව සරසමින් එක් දවසක් ගෙවූහ.
ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරුන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘අද භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය ආදාහනය කරන්නට කාලය මදි ය. අපි හෙට දවසේ භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය ආදාහනය කරන්නෙමු’ යි.
එකල්හී කුසිනාරාවැසි මල්ලවරු භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරයට නැටුම්, ගැයුම්, වාදනයන්ගෙන් ද, මලින් සුවඳින් ද, සත්කාර කරමින්, ගෞරව කරමින්, බුහුමන් දක්වමින්, පුදමින්, වියන් බඳිමින්, රවුමට ශාලාව සරසමින් දෙවෙනි දවස ත් ගෙවා දැමූහ. තුන්වෙනි දවස ත් ගෙවා දැමූහ. සිව්වෙනි දවස ත් ගෙවා දැමූහ. පස්වෙනි දවස ත් ගෙවා දැමූහ. සයවෙනි දවස ත් ගෙවා දැමූහ.
ඉක්බිති සත්වෙනි දවසෙහි කුසිනාරාවැසි මල්ලවරුන් හට මේ අදහස ඇතිවූයේ ය. ‘අපි භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරයට නැටුම්, ගැයුම්, වාදනයන්ගෙන් ද, මලින් සුවඳින් ද, සත්කාර කරමින්, ගෞරව කරමින්. බුහුමන් දක්වමින්, පුදමින් නුවරට දකුණින් දකුණු දෙසට වැඩමවා, නුවරට බැහැරින් බැහැරට වැඩමවා, නුවරට දකුණු පසින් භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය ආදාහනය කරන්නෙමු’ යි.
එසමයෙහි මල්ල රජවරු අට දෙනෙක් වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්ර හැඳ ‘අපි භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය ඔසොවන්නෙමු’ යි වෙහෙසෙන නමුත් ඔසොවන්නට නොහැකි වූහ. එකල්හී කුසිනාරාවැසි මල්ලවරු ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, මේ මල්ල රජවරු අට දෙනා වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්ර හැඳ ‘අපි භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය ඔසොවන්නෙමු’ යි වෙහෙසෙන නමුත් යම් කරුණකින් ඔසොවන්නට නොහැකි වෙත් ද, එයට හේතුව කුමක් ද? ප්රත්යය කුමක් ද?”
“වාසෙට්ඨයෙනි, ඔබගේ අදහස අනිකකි. දේවතාවුන්ගේ අදහස අනිකකි.”
“ස්වාමීනී, දෙවියන්ගේ අදහස කවර දෙයක් ද?”
“වාසෙට්ඨයෙනි, දෙවියන්ගේ අභිප්රාය මෙය යි. ‘අපි භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය දිව්ය වූ නැටුම්, ගැයුම්, වාදනයෙන්, මලින්, සුවඳින්, සත්කාර කරමින්, ගෞරව කරමින්, බුහුමන් දක්වමින්, පුදමින් නගරයට උතුරින් උතුරු දෙසට වැඩම කරවා, උතුරු ද්වාරයෙන් නුවරට පිවිසවා, නගරයට මැදින් මධ්යයට වැඩම කරවා, පෙරදිග දොරටුවෙන් පිටතට වැඩම කරවා, නගරයට පෙරදිගින් මකුට බන්ධන නම් මල්ලවරුන්ගේ චෛත්යස්ථානයක් ඇද්ද, එහි භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය ආදාහනය කරන්නෙමු” යි.
“ස්වාමීනී, දෙවියන්ගේ අභිප්රාය යම් සේ ද, එය එසේ ම වේවා!”
එසමයෙහි කුසිනාරානුවර මංසන්ධි, කැලිකසල තිබෙන තැන්, අපද්රව්ය ආදිය තිබෙන තැන් ද ඇතුළුව දණක් පමණ උසට මදාරා මලින් අතුරන ලද්දේ ය. ඉක්බිති දෙවියෝ ද, කුසිනාරාවැසි මල්ලවරු ද, භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය දිව්ය වූ ත්, මානුෂීය වූ ත්, නැටුම්, ගැයුම්, වාදනයන්, මලින්, සුවඳින්, සත්කාර කරමින්, ගෞරව කරමින්, බුහුමන් දක්වමින්, පුදමින් නගරයට උතුරින් උතුරු දෙසට වැඩම කරවා, උතුරු ද්වාරයෙන් නුවරට පිවිසවා, නගරයට මැදින් මධ්යයට වැඩම කරවා, පෙරදිග දොරටුවෙන් පිටතට වැඩම කරවා, නගරයට පෙරදිගින් මකුට බන්ධන නම් මල්ලවරුන්ගේ චෛත්යස්ථානයක් ඇද්ද, එහි භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය තැන්පත් කළහ.
ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, අපි තථාගතයන් වහන්සේගේ ශ්රී ශරීරය පිළිබඳ ව කෙසේ පිළිපදිමු ද?”
“වාසෙට්ඨයනි, සක්විති රජුගේ සිරුර පිළිබඳ පිළිපදින්නේ යම් අයුරින් ද, ඒ අයුරින් ම තථාගතයන් වහන්සේගේ ශ්රී ශරීරය පිළිබඳ ව පිළිපැදිය යුත්තේය.”
“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, සක්විති රජුගේ සිරුර පිළිබඳ ව කෙසේ පිළිපදිත් ද?”
“වාසෙට්ඨයෙනි, සක්විති රජුගේ සිරුර අලුත් වස්ත්රයෙන් වෙළති. අලුත් වස්ත්රයෙන් වෙළා, මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළති. මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළා, අලුත් වස්ත්රයෙන් වෙළත්. මේ උපායෙන් සක්විති රජුගේ සිරුර වස්ත්ර යුගල පන්සියයකින් වෙළා, සුවඳ තෙල් දැමූ රන් දෙණක බහා අන්ය වූ රන් පියනකින් වසා සියළු සුවඳ දරින් චිතකයක් කොට සක්විති රජුගේ සිරුර ආදාහනය කරති. සිව්මංසලෙහි සක්විති රජුගේ ස්ථූපයක් කරති. මෙසේ වාසෙට්ඨයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි පිළිපදිති. වාසෙට්ඨයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන් වහන්සේගේ සිරුර කෙරෙහි ද, එසේ ම පිළිපැද්ද යුත්තේ ය. සිව්මංසලෙහි තථාගතයන් වහන්සේගේ ස්ථූපයක් කළ යුත්තේ ය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද, සකසා වන්දනා කරන්නාහු ද, සිත හෝ පහදවා ගන්නාහු ද, එය ඔවුන් හට බොහෝ කල් හිතසුව පිණිස වන්නේ ය.”
එකල්හී කුසිනාරාවැසි මල්ලවරු පුරුෂයන්ට අණ කළහ.
“එසේ වී නම් සගයෙනි, මල්ලයන්ගේ දේශයේ ඇති පොළා ගත් පුළුන් රැස් කරව්.”
ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය අලුත් වස්ත්රයෙන් වෙලූහ. අලුත් වස්ත්රයෙන් වෙළා, මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙලූහ. මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළා, අලුත් වස්ත්රයෙන් වෙලූහ. මේ උපායෙන් භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය වස්ත්ර යුගල පන්සියයකින් වෙළා, සුවඳ තෙල් දැමූ රන් දෙණක බහා අන්ය වූ රන් පියනකින් වසා සියළු සුවඳ දරින් චිතකයක් කොට භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය චිතකයෙහි නැංවූහ.
එසමයෙහි ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ පන්සියයක් පමණ මහත් වූ භික්ෂු සංඝයා සමඟ පාවා නුවර සිට කුසිනාරාවට යන දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ මාර්ගයෙන් ඉවත් ව එක්තරා රුක් සෙවණක වැඩහුන්හ.
එසමයෙහි එක්තරා ආජීවකයෙක් කුසිනාරාවෙන් මදාරා මලක් ගෙන පාවා නුවරට යන දීර්ඝ මාර්ගයට පැමිණියේ ය. ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ දුරින් ම එන ඒ ආජීවකයා ව දුටුවාහු ය. දැක ඒ ආජීවකයා ඇමතූහ.
“ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ ව දන්නෙහි ද?”
“එසේ ය, ඇවැත්නි දනිමි. ශ්රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසකි. මා විසින් මේ මදාරා මල ගන්නා ලද්දේ එතැනින් ය.”
එහි යම් රාගය දුරු නොකළ භික්ෂූහු සිටියාහු ද, ඔවුහු ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ යි දෑත් හිස බැඳ, බිම පෙරළෙමින් හඬා වැටෙත්. යම් ඒ භික්ෂූහු වීතරාගී ව සිටියාහු ද, ඔවුහු සිහියෙන් හා නුවණින් යුක්ත ව ‘හේතු ප්රත්යයන්ගෙන් හටගත් සංස්කාරයෝ අනිත්යයහ. ඒවායේ නිත්ය බවක් කොයින් නම් ලබන්නට දැ’යි ඉවසා සිටිත්.
එසමයෙහි සුභද්ර නම් මහළු කල පැවිදිවූවෙක් ඒ පිරිස අතර වාඩි වී සිටියේ ය. එවිට ඒ සුභද්ර මහළු පැවිද්දා ඒ භික්ෂූන්ට මෙය පැවසුවේ ය.
“කම් නැත ඇවැත්නි, ශෝක නොකරව්. නොවැළපෙව්. අපි ඒ මහා ශ්රමණයාගෙන් මනාකොට නිදහස් වුණෙමු. ‘මෙය තොපට කැප ය. මෙය තොපට අකැප ය යන කරුණෙන් පීඩිත ව සිටියෙමු. දැන් වනාහී අපි යමක් කැමති වන්නෙමු ද, එය කරන්නෙමු. යමක් අකමැති වන්නෙමු ද, එය නොකරන්නෙමු’ යි.
ඉක්බිති ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“පලක් නැත ඇවැත්නි, ශෝක නොකරව්. හඬා නොවැටෙව්. ඇවැත්නි, මෙය භාග්යවතුන් වහන්සේ කලින් ම නොවදාළ සේක් ද? ප්රිය වූ, මනාප වූ සියල්ලෙන් ම ඉවත් වීම, වෙන් වීම, වෙනස් ස්වභාවයකට පත් වීම ඇත්තේ ය. ඇවැත්නි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, සකස් වූයේ ද, එය බිඳී යන ස්වභාවයෙන් යුක්ත වෙයි. එබඳු වූ තථාගතයන් වහන්සේගේ ශරීරය පවා නොබිඳේවා යන්න මෙහිලා කොයින් ලබන්නට ද? මෙය දකින්නට නොලැබෙන්නකි.”
එසමයෙහි මල්ල රජවරු සතර දෙනෙක් වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්ර හැඳ, ‘අපි භාග්යවතුන් වහන්සේගේ චිතකයට ගිනි දල්වන්නෙමු’ යි වෙහෙසෙන නමුත් ගිනි දල්වන්නට නොහැකි වූහ.
එකල්හී කුසිනාරාවැසි මල්ලවරු ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, මේ මල්ල රජවරු සතර දෙනා වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්ර හැඳ අපි භාග්යවතුන් වහන්සේගේ චිතකයට ගිනි දල්වන්නෙමු’ යි වෙහෙසෙන නමුත් යම් කරුණකින් ගිනි දල්වන්නට නොහැකි වෙත් ද, එයට හේතුව කුමක් ද? ප්රත්යය කුමක් ද?”
“වාසෙට්ඨයෙනි, දේවතාවුන්ගේ අදහස අනිකකි.”
“ස්වාමීනී, දෙවියන්ගේ අදහස කවර දෙයක් ද?”
“වාසෙට්ඨයෙනි, දෙවියන්ගේ අදහස මෙය යි. ‘මේ ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්ෂු සංඝයා සමඟ පාවා නුවරින් කුසිනාරාවට එන දීර්ඝ මාර්ගයට පිළිපන්නාහු ය. යම්තාක් ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ භාග්යවතුන් වහන්සේගේ ශ්රී පාද පද්මයන් සිරසින් වන්දනා නොකරත් ද, ඒ තාක් භාග්යවතුන් වහන්සේගේ චිතකය ගිනි නොදැල්වෙන්නේ ය’ යි.”
“ස්වාමීනි, දෙවියන්ගේ අදහස යම් පරිදි ද, එය එසේ ම වේවා!”
ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ කුසිනාරාවේ මල්ලවරුන්ගේ මකුටබන්ධන නම් චෛත්යස්ථානය යම් තැනක ද, භාග්යවතුන් වහන්සේගේ චිතකය යම් තැනක ද, එතැනට වැඩම කළහ. වැඩම කොට සිවුරු ඒකාංශ කොට පොරොවා, දොහොත් නගා වන්දනා කොට චිතකය වටා තුන් විටක් පැදකුණු කොට සිරිපා පිහිටි දෙසින් දෙණ විවෘත කොට භාග්යවතුන් වහන්සේගේ ශ්රී පාද පද්මයන් සිරසින් වන්දනා කළහ. ඒ පන්සියයක් භික්ෂූහු ද සිවුරු ඒකාංශ කොට පොරොවා, දොහොත් නගා වන්දනා කොට චිතකය වටා තුන් විටක් පැදකුණු කොට භාග්යවතුන් වහන්සේගේ ශ්රී පාද පද්මයන් සිරසින් වන්දනා කළහ.
ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ ත්, ඒ පන්සියයක් භික්ෂූහු ත්, වන්දනා කළ කල්හී, භාග්යවතුන් වහන්සේගේ චිතකය තෙමේ ම ගිනි ඇවිලගත්තේ ය. දැවෙන්නා වූ භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරයෙහි යම් සිවියක් හෝ සමක් හෝ මසක් හෝ නහර හෝ සඳ මිදුළු හෝ තිබුණේ ද, එහි අළු ද නොපැණුනේ ය. දැලි ද නොපැණුනේ ය. ශාරීරික අස්ථි ධාතූන් වහන්සේලා පමණක් ඉතිරි වූහ. දැවෙන්නා වූ ගිතෙලෙහි හෝ තෙලෙහි හෝ අළු නොපැණෙන්නේ, දැලි නොපැණෙන්නේ යම් සේ ද, එසෙයින් ම දැවෙන්නා වූ භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරයෙහි යම් සිවියක් හෝ සමක් හෝ මසක් හෝ නහර හෝ සඳ මිදුළු හෝ තිබුණේ ද, එහි අළු ද නොපැණුනේ ය. දැලි ද නොපැණුනේ ය. ශාරීරික අස්ථි ධාතූන් වහන්සේලා පමණක් ඉතිරි වූහ.
ඒ පන්සියයක් වස්ත්ර යුගල අතුරින් සියල්ලට යටින් යම් වස්ත්රයක් තිබුණේ ද, සියල්ලට පිටින් යම් වස්ත්රයක් තිබුණේ ද, ඒ වස්ත්ර දෙක නොදැවුණේ ය.
භාග්යවතුන් වහන්සේගේ ශ්රී ශරීරය දැවී අවසන් වූ කල්හී අහසින් දිය දහරා පහළ වී භාග්යවතුන් වහන්සේගේ චිතකය නිවා දැම්මේ ය. සාල වෘක්ෂයන්ගෙන් ද දිය පහළ වී භාග්යවතුන් වහන්සේගේ චිතකය නිවා දැම්මේ ය. කුසිනාරා නුවරවැසි මල්ල රජදරුවනුත් සියළු සුවඳ දියෙන් භාග්යවතුන් වහන්සේගේ චිතකය නිවා දැම්මාහු ය.
ඉක්බිති කුසිනාරාවැසි මල්ල රජදරුවෝ රැස්වීම් ශාලාවෙහි රැකවරණ සහිත මැදිරියක් කරවා, දුන්නෙන් කළ පවුරකින් වට කරවා, භාග්යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා එහි වැඩමවා පුරා සත් දිනක් නැටුම්, ගැයුමෙන්, වැයුමෙන්, මලින්, සුවඳෙන් සත්කාර කළාහු ය. ගරු කළාහු ය. බුහුමන් කළාහු ය. පිදුවාහු ය.
උපුටා ගැනීම මහාමේඝ සදහම් සඟරාවෙන්
මහා පරිනිබ්බාණ සූත්‍රය – දීඝ නිකාය 2
0