• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

පෙර පාසල් අධ්‍යාපනයේ පුරෝගාමී මරියා මොන්ටිසෝරි මැතිනිය

පෙර පාසල් අධ්‍යාපනයේ පුරෝගාමී මරියා මොන්ටිසෝරි මැතිනිය
පෙර පාසල් අධ්‍යාපනයේ පුරෝගාමී වෛද්‍ය මරියා මොන්ටිසෝරි මැතිනියගේ 150 වැනි ජන්ම සංවත්සරය ඉකුත් අගෝස්තු 31 වැනිදාට යෙදුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ලොව කීර්තිමත් අධ්‍යාපනඥවරියක සහ වෛද්‍යවරියක  වූ ඉතාලි ජාතික මරියා මොන්ටිසෝරි විසින් ලොවට හඳුන්වා දෙනු ලැබූ මොන්ටිසෝරි ළමා අධ්‍යාපන ක්‍රමවේදය අදටත් ලොවම පිළිගත් ළමයින්ට වඩාත් උචිත අධ්‍යාපන ක්‍රමවේදය ලෙස පිළිගෙන ඇත.

ඇය ශ්‍රී ලංකාවට පැමිණ මෙම අධ්‍යාපන ක්‍රමවේදය මෙරට ප්‍රචලිත කිරීමට ගුරු පරපුරක් බිහි කිරීමට මූලිකත්වය ගෙන මේ වන විට වසර 76ක් සපිරේ
වර්ෂ 1906 දී වෛද්‍ය මොන්ටිසෝරි මැතිනිය ලොවට හඳුන්වා දුන් AMI නොහොත් Association Montessori International  ළමා අධ්‍යාපන ක්‍රමවේදය, 1944 වසරේදී යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන්ගේ කතෝලික නිකායට බාර දෙනු ලැබුවේ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට ය.

අද වන විට යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන් විසින් පවත්වාගෙන යනු ලබන යහපත්  එඬේර මරියා මොන්ටිසෝරි ගුරු පුහුණු මධ්‍යස්ථානය (AMI Good Shepherd Maria Montessori Training Centre) ලොව ඕනෑම රටක පිළිගනු ලබන පෙර පාසල් පාඨමාලාවක් වන අතර මෙහි පුහුණුව ලැබූ ගුරුවරු ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමෙරිකාව සහ කැනඩාව වැනි දියුණු රටවල සේවය කරති.

1935 වර්ෂයේදී වෛද්‍ය මොන්ටිසෝරි මැතිනිය සිය  Association Montessori International මූලස්ථානය නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම් නුවර ආරම්භ කළාය. ශ්‍රී ලංකාවේ මෙම AMI මූලස්ථානයට අනුබද්ධ එකම ශ්‍රී ලාංකික පෙර පාසල් ගුරු අධ්‍යාපන පාඨමාලාව සහ ආයතනය යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන් විසින් පවත්වාගෙන යනු ලබන එකම ගුඩ් ශෙෆර්ඩ් මාරියා මොන්ටිසෝරි (Good Shepherd Maria Montessori) පුහුණු මධ්‍යස්ථානයයි.
1944 වසර ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ කඩඉමක් සටහන් කළ වසරකි. ලංකා ගුරු සංගමයේ (Ceylon Teachers Association) ආරාධනය පරිදි වෛද්‍ය මොන්ටිසෝරි මැතිනිය ඇයගේ පුතා මාරියෝ සමග ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙරට පළමු පෙර පාසල් ගුරු පුහුණුව පැවැත්වීමටය.

මරියා මොන්ටිසෝරි


මොන්ටිසෝරි මැතිනිය ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ ගුරු පුහුණු වැඩසටහනක් අවසන් කිරීමෙන් පසුවය. එම පුහුණුවට ශ්‍රී ලාංකිකයන් වන ජෝයිස් ගුණසේකර සහ ලීනා වික්‍රමරත්නද සහභාගි වූ අතර මොවුහු පසුව ලංකාවේ පෙර පාසල් මොන්ටිසෝරි අධ්‍යාපනයේ ප්‍රමුඛයෝ වූහ.
මොන්ටිසෝරි මැතිනිය විසින් කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ පවත්වන ලද පාඨමාලාවට ජෝයිස් සහ ලීනා සහය වූ අතර පසුකාලීනව මොවුන් දෙදෙනා තම ජීවිතයම ශ්‍රී ලංකාවේ මොන්ටිසෝරි අධ්‍යාපනය නගා සිටුවීමට කැප කළහ.

පාඨමාලාව අවසන් කළ මොන්ටිසෝරි මැතිනිය ශ්‍රී ලංකාවෙන් පිටත්වන විට මෙම නවමු පෙර පාසල් අධ්‍යාපන ක්‍රමවේදය එවකට යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන්ගේ නිකායේ ශ්‍රේෂ්ඨාධිපතිනිය වෙත බාරදුන් අතර එදා සිට කන්‍යා සොහොයුරියන්ගේ නිකාය අන්තර්ජාතිකව ව්‍යාප්තව පවතින AMI පවුලේ සාමාජිකයකු බවට පත්විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙර  පාසල නොහොත් ‘මොන්ටිසෝරිය’  1944 දී කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ආරම්භ කළ අතර, එහි ප්‍රථම පාලිකා තනතුරට පත්වූයේ ඊටා ක්ලීරි (Sr. Ita Cleary)  කන්‍යා  සොහොයුරියයි. එම වසරේම ලීනා වික්‍රමරත්න විසින් කොල්ලුපිටියේ ළමා නිවාස (House of Children) ආරම්භ කරන ලද  පසුව එය ඇයගේ උපන්ගම වන නුවරට ගෙනයනු ලැබුවාය.

ශ්‍රී ලංකාවේ මෙම අගනා අධ්‍යාපන පුනරුදයට මුලපිරූ මොන්ටිසෝරි මැතිනිය පිහිට වූ AMI මූලස්ථානය පිහිටි නෙදර්ලන්තය බලා  පිටත් වූ අතර 1952 මැයි මස 6 වැනිදා මියගියාය. ජෝන් බොස්කෝ සහ ස්ටනිස්ලෝස් වාස් කන්‍යා සොහොයුරියෝ 1963 වසරේ දී මාරියා මොන්ටිසෝරි මැතිනියගේ පුත්වූ මාරියෝ මුණගැසී මොන්ටිසෝරි මැතිනිය විසින් රචිත (The Secret of Childhood) නමැති ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීමට අවසර ඉල්ලීය.
මේ ගමනින් පසුව ස්ටනිස්ලෝස් වාස් කන්‍යා සොහොයුරිය ඉන්දියාවේ කල්කටා නුවර වැඩිදුර ගුරු පුහුණුව සඳහා නැවතුණු අතර නැවත 1964 යහපත් එඬේරා පුහුණු මධ්‍යස්ථානයට සම්බන්ධව මෙරට ප්‍රථම පෙර පාසල් ගුරු පුහුණුව සිංහල බසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 14ක ගෙන් ආරම්භ කළාය. මෙය ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ද කඩඉමක් විය.
ශ්‍රී ලංකා අධ්‍යාපන සේවය සහ රජය විසින් මරියා මොන්ටිසෝරි විසින් හඳුන්වාදුන් මෙම විශේෂිත අධ්‍යාපන ක්‍රමවේදය කිහිප විටක් ගෞරවයට පාත්‍ර කළ අතර වසර 2000 දී වෛද්‍ය මරියා මොන්ටිසෝරිගේ 130 වැනි ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්දරයක් ද නිකුත් කළේය.
 
උපුටා ගැනීම ලංකාදීප

Related Articles