ගිලීමලේ රජ මහා විහාරය සිරිපා භිමේ ට ඉතා කිට්ටු අතීත පූජා භූමියකි. ඒ අවට ප්‍රදේශයේ උඩුකුලාන, මස්කෙළිගඟින් එහා බටේපොළ, ලබුවාව, මාපලාන, පලාබද්දල, ගල්කඩුවමඩම, ඇඳිරිකැලේ ආදී ගම්මානවලත් ගැමියෝ එකාවන්ව අපට තොරතුරු බෙදති. එය අපට මහත් ම සතුටකි. ඒත් පුංචි දඹදිව විහාරාධිපති දෙවිපහල දේව මිත්ත හිමියන්ගේ තොරතුරු කෝෂ්ඨාගාරය තවමත් එහෙම ම ය . කල්තොට බුදුගල රජ මහා විහාරාධිකාරි බුදුගල සෝමරතන හිමියන් ද මා වෙනුවෙන් බොහෝ තොරතුරු සපයනු ඇත.
රත්ගඟ විහාරාධිපති දෙවිපහල දේවමිත්ත හාමුදුරුවන්ට යළිත් ඉඩ හසර හදමු.“සබරගමු පළාතේ තිබෙන විශාලත ම ඒ වගේ ම ගුප්ත ම වන රක්ෂිතය මේ සිරිපාද වන රක්ෂිතයයි. මනුෂ්‍යයන් වගේ ම විවිධාකාරයේ අමනුෂ්‍ය්‍යන් ද ඉන්නවා. සමහරුන් තිසරණය රකින අය. සමහරුන් මස් මාංශ කන ජනතාවට හිරිහැර කරන අය. ඒත් මා විශ්වාස කරන අන්දමට මේ සිරිපා හිමේ එවැනි කෲරතර අමනුෂ්‍යයන් අඩුයි. වැඩිහරියක් ඉන්නෙ සමන් දෙවියන්ට ආවතේව කරන උන්වහන්සේ වෙනුවෙන් මේ වනය හා කූඨය රකින යක්ෂයින්.
අමනුෂ්‍ය හූ හඬ තුනක්-බෑණ සමනළට දකුණු පැත්තට වෙන්නට තිබෙන ගල්ගුහාවේ අපේ බේබි සිඤ්ඤෝ නැවතුණ දවසක එක්තරා යක්ෂයෙක් පිළිබඳ අපූරු දෙයක් අසන්නට ලැබුණා. කෙම්මුර දවස්වලට මෙයා මේ කැලේ ගමන් කරනකොට මහා බියක් ඇති වන අන්දමේ යටිගිරියෙන් හූ හඬ තළමින් යන්නේ. මේ හූ හඬ ඇසුණු මහා හිමේ රාත්තිරියට ලගින මල් කපන්නන්, හකුරු හදන්නන් බොහෝ දෙනකුට පහුවෙනිදාට අනිවාර්යයෙන් ම සහලෝල උණ. මෙයා මා මුලින් කී අය අතර තෙරුවන් සරණ නොගිය කෙනෙක්.
සමහරුනට දර්ශනය වෙලත් තියෙනවා. හැඩපලු ගෙතුණා වගේ දිග අවුල් සහගත කොණ්ඩයක්, රතු පාට ඇස් සහිත මේ යක්ෂයා දවසක් බේබි සිඤ්ඤෝ නිදා උන් ගල්ලෙන උඩටත් ඇවිත් යටිගිරියෙන් හූ තැළුවා. මෙයා හූ හඬ තළමින් යනකොට ගමේ මිනිස්සුත් ඒ හූ හඬට හිමිහිට වචනයක් මතුරනවා. ආයු බෝ වේවා! කියලා. ආයුෂ වර්ධනය වේවා. එහි අරුත. එහෙම නොකියා මේ හූ හඬ තුනට බීරන්තට්ටු වුණොත් එයාට පහුවැනිදාට උණ බස්සන්න ඇදුරෙක් හොයන්න වෙනවා. ඒත් කොච්චර දේවල් දන්නවා වුණත් මේ මර හඬට මිනිස්සු බයයි. යක්ෂයින්ගේ කතන්දර පටන් ගත් නිසා මේ හිමේ වසන යකුන් යක්ෂණියෝ ගැන තවත් පැත්තක් කියන්න අවශ්‍යයි.
සියවටුක නම් යක් සේනාධිපති- සමන් දෙවියන් බුදුන්ගෙන් බණ අසා සෝවාන් වූ උත්තමයෙක්. උන්වහන්සේ මේ සිරිපා කූඨය හා මහා හිමය රැක ගන්නවා. එය වනසන්න එහි වැරැදි ක්‍රියාකාරකම් කරන්න පෙලැඹෙන සමහරුනට දඬුවම් කරන්නට යන්නෙ නෑ. එහෙම දඬුවම් කරන්න එතුමා නොගියත් ඒ කටයුතු කරන්න පිරිසක් මෙහි ඉන්නවා. සමන් දෙවියන් වෙනුවෙන් ඒ කටයුතු කරන්නෙ යක්ෂ සේනාපතියෙක්. එයාගෙ නම සියවටුක. බෑණ සමනළට උඩින් තිබෙන වන තලාව හා ගල්තලා තමයි ඒ යකුන් යක්ෂණියන්ගේ රජදහන. මා මේ ගැන කියාගෙන යන්නෙ හිතළුවට නොවේ. අදත් ධර්මරාජගලේ බවුන් වඩනා යෝගී භික්ෂුවක කියන තොරතුරු අනුවයි. උන්වහන්සේ තමන්ගේ නම හෙළිකරන්න එපා කීවා. ඒ වගේ ම ඡායාරූප ලබා දෙන්නත් කැමැති නෑ, මේ සිරිපා හිමේ අසිරිය රැකගන්න ඒවා සැඟවීම තිබෙන්න ඕනෑ බවයි උන්වහන්සේගේ අදහස.
කරජ ශරීර-මේ යක්ෂයින් අතර බණ භාවනා වඩන අයද ඉන්නවා කිවහොත් ඔබ පුදුම වෙයි. මා මුලින් කී යෝගී භික්ෂුවට වියළි ආහාර හා වෙනත් කළමනා දායකයො ගිහින් තියන්නෙ වෙන ම තැනක. උන්වහන්සේ බවුන් වඩන ස්ථානයට පහසුවෙන් වන්දනාකරුවනට යන්න බෑ. ඒ නිසා උන්වහන්සේ ගේ අනුදැනුම අනුව වෙන ම ස්ථානයක මේ වියළි ආහාර ආදිය තබන්නේ. කොටින් ම සමහර විට මේ ආහාර උන්වහන්සේට උයා පිහා දෙන්නෙත් යක්ෂයින්මයි. මේ හිමියන් දවසට එක වේලයි වළඳන්නේ. උදේ ආහාර වේල පමණයි.
ඒකත් උදේ හතයි තිහත් අටයි තිහත් අතර විතරයි. 20 වැනි සියවසේ ඔබ මේ කතා විශ්වාස නොකළත් කතාව ඇත්තයි. පෝය දාට ගමට වඩින මේ යෝගී හිමියන් කියන කතා අනුව අපට ඒ බව විශ්වාසයි. බුදු රජාණන් වහන්සේගේ සිරිපා ලකුණ හා සමන් දෙවියන් කෙරෙහි භක්තිය පෙරදැරි කරගෙන ඉතා ම සැදැහැවත්ව කටයුතු කරන යකුන් යක්ෂණියන් මෙහි ඉන්නවා. ඒ අයට තිබෙන කරජ ශරීර කියලා තමයි උන්වහන්සේ හඳුනා ගන්නේ. ඉතාම කළු දුෂ්කර ලකුණු පෙන්වන, මහ විශාල අවලස්සන ශරීර ඔවුනට තිබෙනවා. ඒ අතීත අකුසල කර්ම නිසා. ඒ නිසා ඔවුන් ඉන් මිදීමටයි මේ වතාවත් කරන්නේ. මේ යකුන් යක්ෂණියන්ට වලසුන් කොටි ආදී වශයෙන් වෙස් මාරු කරගන්නත් පුළුවන්. අවස්ථාමය වශයෙන් සියවටුක නම් සේනාධිපති අණ අනුව ඔවුන් සත්ත්ව ස්වරූප ගන්නවා.
යක්ෂයා සමඟ කතා බහක්-මේ යෝගී හිමියන් ධර්මරාජ ගල ළඟ එක්තරා ගුහාවක වැඩ වාසය කරන විට හිමියන්ට හිත එකඟ කරගන්න බැරිව ගියා මුල් දවස්වල. යකුන්ගේ බෑඟිරියත් නිසාම. ඒ නිසා උන්වහන්සේ රකින ශීලය භාවනාවට කැමැති යක්ෂයෙක් උන්වහන්සේ ගේ දෑස් මානයේ පෙනෙන්නට ම ඇවිත් හිමියන් භාවනා කරන තැනට සමීපයෙන් දහවල් කාලයේ නිදා ගන්නවා. රාත්‍රියට පිටවී යනවා. මේ විදියට දවස් ගණනක් ගතවෙද්දී උන්වහන්සේ හිතට ශක්තිය අරන් අර යක්ෂයා සමඟ කතා කළා. ඇයි? දවල්ට මෙහි නිදියන්නේ. රාත්‍රියට පිටවී යන්නේ… උන්වහන්සේ එසේ ඇසුවා. දහවල් මා ඔබ වහන්සේගේ භාවනාවට කවුරුන් හරි හිරිහැර කරාවි යැයි ඔබ වහන්සේ ආරක්ෂා කරනවා. රාත්‍රියට ඔබ වහන්සේට සැතපෙන්න දීලා මං ආහාර සොයාගෙන යනවා. යක්ෂයාගේ පිළිතුර වුණා. මෙය අදත් සිදුවෙන්නක් කිවහොත් නිවැරැදියි.
දිවා ගුහාව-පලාබද්දල පතිරාජ පිරිවෙනේ තිබිලා මට හමුවූ පුස්කොල පොතක තියෙනවා. සමන් දෙවි හාමුදුරුවොයි බුදු හාමුදුරුවොයි දිවා ගුහාවේ තරමක සාමිචීයක සිටි බව. එහි කියැවෙනවා. පසුව එහි ම බුදුන් දිවා විහරණය කළ බවත්. සියවටුක කියන යක්ෂ සේනාධිපතියා තමයි මේ ස්ථානය සාමාන්‍ය ජනතාවට දැනගන්න ඉඩ නොතබන්නේ. රත්නපුර මහා සමන් දේවාලයේ ඇතුළු වන තැනම මකර තොරණේ සියවටුක නම් යක්ෂ සේනාධිපතියාගේ රූපයක් කොටා තිබෙනවා. ඕනෑ ම කෙනෙකුට බලාගන්න පුළුවන්. මේවා නිකමට මේ තැන්වල කෙටෙන්නෙ නෑ.
ධර්මරාජගල-ධර්මරාජගල ගැන මේ පළාත්වල අපූරු ජනප්‍රවාද රැසක් තිබෙනවා. ඒවායින් සමහර ඒවා පිළිගන්නත් බෑ. ඒත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පද්මය තබන්නට මෙහි වැඩි අවස්ථාවේදී සමන් දෙවි ප්‍රමුඛ දේව, බඹ, යක්ෂ සමූහයාට බණ කීවේ ධර්මරාජගල මුදුනතයි කියන මතයක් ද තිබෙනවා. පුරාණ ගැමියන් ඒ කතාව අදහනවා.තවත් විශේෂ කතාවක් තියෙනවා. කහවත්ත බමුණුගම පැත්තෙ නිලමේ කෙනෙක් රාජ උදහසට ලක්ව දඬුවමක් ලැබුවා. ඒ සිරිපා නඟින්න එන බැතිමතුනට පහසු වන විදියට මේ ධර්මරාජගල කියන පෙදෙස සිට ඉහළට පඩිපෙළ කපන්න කියලා. මේ ගල් පඩිපෙළ සකස් කළේ ඒ නිලමේ. මේ ගල්පඩි පෙළ කපන්න කෙතරම් කාලයක් ගියාද කියන්නෙ නිලමේ වයසට පත්වුණා. අන්තිමේ නිලමේ ධර්මරාජගල තමන්ගෙ අසපුව කරගෙන තපස්වරයෙක් ලෙස ජීවත්ව මිය ගියා. ධර්මය වෙනුවෙන් ම කැප වී අවසාන මොහොත දක්වා ජීවත් වූ මිනිසා ජීවත් වූ ගල ධර්මරාජගල වූ බවයි ඒ මතය.
මැද ඉන්න ගල්ගුහාව-මේ යකුන් යක්ෂණියන් තවත් රැඳෙන ගල්ගුහාවක් තමයි මැදඉන්න ගල් ගුහාව. එරත්න පාර හරහා සිරිපා වන්දනාවෙ යන විට මේ ගල් ගුහාව දකින්නට පුළුවන්. යෝගී චන්දිම හිමියන් අපවත් වන තුරු ම වැඩ උන්නෙ මේ ගල් ගුහාවෙ. මීට පෙර ලිපියක වලහා කෑ හාමුදුරුවෝ නමින් අප හැඳින්වුවෙ ඒ හිමියන් තමයි.
වැඩ සිටි ඉසව්ව-ඒ හිමියන් වැඩ හිටි ඉසව්වට එදා මිනිසුන් වඳින්න ගියා. ඒක පසුව කරදරයක් වුණා. ඒ නිසයි අදත් වැඩ ඉන්න හිමිවරුන් තම ඉසව්ව නම් ගම් නොකියන්නෙ. අද වගේ නොවේ එදා ගෙත්තම් කිරීම පවා සිදුවුණේ. මට ඒ ගැන මතකයට ආවෙ හැරමිටිපාන හරියෙ අම්බලම් ගැන ඔබ ඇසූ නිසයි.එදා පැමිණි පිරිස් නවතින්නේ මේ විශාල අම්බලම්වල. ඒ අය මේ අම්බලම්වල දවස් තුන හතර නවතිනවා. නැවතිලා උයා පිහාගෙන කාලා තමන් ගෙනාපු සුදු රෙදි මේ දවස් තුනේ ම මහලා ඒවා සීත ගඟුලේ සෝදලා වේලාගෙන නියම පිළිවෙලට අන්දාගෙනයි එදා මළුව කරුණා කළේ. අද එහෙම කරන්න බැරි බව ඇත්ත. දැන් නිකම් නූලක් ඇදගෙන යාමයි කරන්නේ.
ලිහිණිහෙළ වලස් ප්‍රහාරය-මාතර ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් ඩොලැක්කි, මවුත්ඕගන් හා වෙනත් සංගීත භාණ්ඩ වයමින් ගී කියමින් විනෝදයට සිරිපා වන්දනාවට ආපු වෙලාවක සිදුවූ දෙයක් මේ. පලාබද්දල පාරේ සිරිපා රජ මාවත ඔස්සේ මහත් ඝෝෂා නංවමින් සිගරට් බොමින් මේ කට්ටිය එනවා. පහළ සිට හමුවන මිනිසුන් නොයෙක් අවවාද කළා. “ෙම්ක දෙයියන්ගෙ රට. මෙහෙම යන්න එපා. කරදර වෙයි දරුවනේ! කියා කෙස් පැහුණු වැඩිහිටියන් ද කීවා. ඒ කතාවලට කොලුවන් මේක කන්දක්. අපි ජොලියට යන්නෙ. ලොක්කා යන්න කියලා. ඒ මිනිසුන්ට සමච්චල් කැර කැර තවත් ඝෝෂා නංවමින් මේ අය ඉහළට එනවා. ලිහිණිහෙළ හරියට කිට්ටු කළා විතරයි. කොහෙන් ආ වලසුන් දෙදෙනකු ද දන්නේ නෑ. ෙම් තරුණ පිරිස අතරට පැනලා අර වාචාල කතා කී මුලින් ම එන තරුණයාව හපා කනවා. එක් වලසෙකුගේ තියුණු දත් පහර වැදිලා අර තරුණයා ඇද වැටෙද්දි අනෙක් කට්ටිය යළිත් පහළට දිව්වා. අනෙක් කටමැත දෙඩවූ තරුණයා දිව්වෙ ඉහළ පැත්තට.
ලේ පෙරන තුවාල-බිම වැටුණු තරුණයාව ඉවක් බවක් නැතිව හපා කෑ එක් වලසෙක් ආපසු හැරුණා පහළට දිවූ කට්ටිය අල්ලා ගන්නට වගේ. ඒ අය වැඳ වැටුණා සමන් දෙවි හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලගෙන. ඒ වතාවෙ වලසුන් දෙන්නා ම කැලයට වැදුණා. උඩට දිවූ පුද්ගලයාව සොයා බලන්න වෙලාවක් නෑ, නඩයේ කට්ටිය ලේ පෙරන තුවාලකරු අරගෙන පහළට වේගයෙන් ආවා.ටික වේලාවකින් කන්දේ ඉහළ නැඟුණු උඩ පැත්තට දිවූ තරුණයා දැන් ආයිත් පහළට එනවා. වැඩි දුරක් එන්න ට ලැබුණේ නෑ වලස්සු නැවත මතු වුණා. එයාගේ තට්ටම් පෙදෙස, කලවා බරු ගහන්න පටන් ගත්තා. එයාගෙ මර විලාපය පහළ තුවාලකරු රැගෙන යන පිරිසටත් ඇහුණා. එයාත් වැඳ වැටුණා වලසුන් දෙදෙනාට. තරමක් හප කළාට පස්සෙ තමයි එයාව නම් අතෑරියෙ.නඩය තුවාලකරුවන් ගෙන ගියා මිසක් සමනළ අඩවිය පැත්තට කවරදාවත් ආවෙ නෑ.
කෑම වරදින්නේ නෑ-සිරිපා හිමේ අතරමං වන අය බොහෝවිට බේරෙනවා. ඒ බේරිච්ච අයගෙන් අහලා බලන්න. කවරදටත් ඒ අය දවස් 3 – 4 අතරමං වෙලා හමුවුණත් බඩගින්නෙ නම් ඉඳලා නෑ. ඔවුනට කොහොම හරි ආහාර ටික ලැබෙනවා. ඒකත් මේ හිමේ තවත් අසිරියක්. ඉදුණු අන්නාසි ගෙඩියක් හෝ කිසියම් පලතුරක් මේ අයට පෙනිලා තියෙනවා ඒ වෙලාවට.
මෙවැනි කතා පුවත් මේ ප්‍රදේශයේ බහුලය. සුමන සමන් දිව්‍ය රාජයා ලෙඩට දුකට බොහෝ පිහිට වන දෙවිඳකු බව බොහෝ දෙනා කියති. “ඔය ආරුඪකාරයො, භූත, දිෂ්ටි, ආත්ම වැහුණු කට්ටිය සිරිපාදෙ ගෙනාවොත් ඒ අය එක්ක මළුවට නැංඟොත් ඒ ලෙඩ සනීප වෙනවා… සමනළ අඩවියේ අත්තම්මලා කියති.
මහ ලොකු දේවි- සමන් දෙවියන්ගේ සහෝදරියක් ගැන ද බොහෝ ජනකතා මෙහි ප්‍රකටය. මහ ලොකු දේවිය නම් එතුමිය ද ලෙඩට දුකට පිහිටවන්නියක බව කියැවේ.කල්තොට බුදුගල සෝමරතන හිමි වදාළ කරුණකින් අදට තිත තබමු.එක්තරා දුප්පත් අහිංසක අම්මා කෙනෙක් තමන්ගෙ දුවට සිරිපා වන්දන්න කාලයක් තිස්සේ ම පෙරුම් පුරමින් හිටියා. ඒත් මේක කරගන්න බැරි මේ දුවට “ෆිට්” එක කියන ලෙඩේ හැදෙනවා. ඒත් මේ අම්මා හිතට දහිරිය අරන් දුවත් අරන් සිරිපා කරුණා කරන්න හිත හදාගත්තා. නඩේ ගුරාටත් කීවා. ගුරාත් සමන් දෙවියන්ට මහත් පුද පූජා පවත්වන කෙනෙක්. මේ අය කරදරයක් නැතිව උඩමළුව හරියට එන කොට ම අර තරුණියට ‘ෆිට්’ එක හැදුණා
අපස්මාරෙ- නඩේ ගුරා එතැන ම ඉඳන් සිරිපා පද්මය වඳින ගාථාව කියලා සමන් දෙවි අණයි. ආඥාවයි. මින් පස්සෙ ජීවත්ව සිටින තාක් දුවේ නුඹට මේ අපස්මාරය කියන ලෙඩේ හැදෙන්නෙ නෑ. ඒක සත්තයි. සහතිකයි. කියලා තමා හා පිරිස මෙහි පැමිණි රථයේ යතුරු කැරැල්ල ඇගේ අත තැබුවා. ඇය සනීප වුණා. දැන් අවුරුදු 8ක් පමණ ගතවෙලා තියෙනවා. මේ තරුණිය විවාපත් වෙලා දරුවොත් ඉන්නවා. එයාට ඉන් පස්සෙ ඒ ලෙඩේ නම් හැදුණේ නෑ. මේවා පුදුමාකාර දේවල්. කුඩා දවසේ ඉඳලා තුරුණු විය දක්වා ම නිතර හැදුණ ලෙඩේ එදායින් පස්සෙ අතුරුදන් වුණේ කොහොමද? කියලා ඔය විද්‍යාවට නම් හොයාගන්න බෑ.සිරිපා මහිමේ ගමන් කිරිමේදී තුන් සිත පහදවා ගමන්කරන සැදැහැවතුන් හට සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙයි.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක්