ඔබ නොදත් මහානාග රහතන් වහන්සේ

ලෝකනායක වූ අප තථාගතයන් වහන්සේගේ ම ශ්‍රේෂ්ඨ දායාදයක් වූ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේ ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි ලංකාද්වීපවාසීන් පහදවනු පිණිස පොසොන් පුන් පොහෝ දවසක මේ සිංහලදීපයට වැඩම කොට වදාළ සේක. උන්වහන්සේ වැඩම කොට බුදු සසුන් පිහිටුවීමෙන් පසුව සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් විය. යකුන් යකිනියන් අදහමින්, ගස් ගල් වන්දනා කරමින් නොයෙක් මිථ්‍යා මතවල දිවි ගෙවූ ඔවුනට ශ්‍රේෂ්ඨ වූ සරණක් ලැබුණි.
එනම්, ලෝකයේ කිසිම පුද්ගලයෙකුට, වස්තුවකට සමාන කළ නොහැකි බුද්ධ රත්නය සරණ යන්ට ලැබීම යි. එසෙයින් ම කෙලෙස් නසන, විරාගය ඇති කරන, මේ දුක්ඛිත භයංකර වූ සසර දුකින් සදහට ම එතෙර කරවා අමා නිවන ලබා දෙන්නා වූ ලොව කිසිම දෙයකට සම කළ නොහැකි ධර්ම රත්නය සරණ යන්ට ලැබීම යි. අෂ්ටාර්ය පුද්ගල වූ, සම්බුදුරජුන්ගේ ශ්‍රාවක වූ, පුදන දානය මහත් ඵල කර ලබා දෙන්නා වූ සංඝ රත්නය සරණ යන්ට ලැබීම යි. මේ උතුම් තෙරුවන සරණ යන්ට ලැබීම නිසා බොහෝ පින් තිබූ සිංහලයෝ සසරින් සදහට ම නිදහස් වූවෝ ය.
ඊට මඳක් අඩුවෙන් පින් තිබූ අය අනාගාමී ව බඹලොව ඉපදුණෝය. ඊටත් අඩුවෙන් පින් තිබූ මනුෂ්‍යයින් සකදාගාමී හෝ සෝවාන් ඵලයට පත් වී සතර අපායෙන් සදහට ම නිදහස් වී ආත්මභාව දෙක තුනක් හෝ උපරිම ආත්මභාව හතක් ඇතුළත සසර දුක අවසන් කළෝ ය. එසෙයින් ම තවත් වාසනාවන්ත පිරිසක් විය. එනම් තෙරුවන කෙරෙහි සිත පහදවාගෙන, සිල් පද රැකගෙන, සංඝයා වහන්සේලාට දන් පැන් පුදා පින් රැස්කරගෙන සුගති රැකවරණ සලසා ගත්තෝ ය. මේ සියලු යහපත සිංහල ජාතියට සැලසුනේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවත්, උන්වහන්සේගේ පුත්‍ර රත්නයක් වන මිහිඳු මහරහතන් වහන්සේත් නිසා ය.
මෙසෙයින් කසාවතින් බැබළුණු ලංකා ධරණීතලය ශ්‍රේෂ්ඨ වූ මහරහතන් වහන්සේලාගෙන් ශෝභමාන විය. උන්වහන්සේලා දිවි පරදුවට තබා ධර්මයේ හැසුරුණෝ ය. ඒ උත්තමයන් තුළ පැවැති වීර්යය සහ අධිෂ්ඨානය සාමාන්‍ය ලෝකයාට සිතින් සිතා ගන්නවත් බැරි ය. සුදෝසුදු සංඛයක් බඳු පිරිසිදු සිල් රකිමින්, බවුන් වඩමින්, ලොව කිසිවකට නොබැඳෙමින් වාසය කළෝ ය. මේ ලක්දිව වැඩ විසූ සමහර තෙරුන් වහන්සේලා අනිත්‍ය ගැන කියවෙන කවි අසා විදසුන් වඩා රහත් වූහ. මහා විහාරයේ දකුණු දොරටුවේ සිට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව මහ සෑය බලමින් තිස්දහසක් භික්ෂූහු රහත් වූහ.
බටහිර දොරටුවේ සිට ද නැගෙනහිර දොරටුවේ සිට ද එපරිද්දෙන් ම රහත් වූහ. ප්‍රශ්න මණ්ඩපය පිහිටි තැන ද අබාවැව් ඉවුරෙහි ද ථූපාරාම දොරටුවෙහි ද නුවර දකුණු දොරටුවෙහි ද අනුරාධ වැව් ඉවුරෙහි ද එසේ ම රහත් ඵලයට පත් වූහ. මහා ආරියවංශය දේශනා කරන තෙරණුවෝ මෙසේ කීහ. මහ සෑය වටා ගර්භය ඇති වේදිකාවේ යට කොටසේ පටන් පැහැදිලිව පෙනෙන ස්ථානය දක්වා වූ ඒ ඒ තැන්වල දෙපා සමව තබාගැන්මට හැකි වේ ද එක් පියවරක් පමණක් තබා ගත හැකි තැන්වල ද සිට තිස් දහස බැගින් භික්ෂූන් රහත් වූ බවයි. එසේ ම වැලි විසුරුණු මහ සෑ මළුවෙහි ද බොහෝ භික්ෂූහු රහත් බවට පැමිණියහ.
මෙසේ ලංකාද්වීපයේ ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා වැඩ වාසය කළෝ ය. ඒ රහතන් වහන්සේලාට බොහෝ දුප්පත් මිනිස්සු දන් පැන් පුදා මහා සැපයක් ලබාගත්හ. තමන් නොකා නොබී බඩගින්නේ සිට සංඝයා වහන්සේලාගේ පාත්‍රයට දන් පිදූහ. ඒ දන් දුන් ආකාරය පිළිබඳ ව දැනගත් පසු ද මහා සංවේගයකට පත්ව විදසුන් වඩා රහත් වූ උතුමෝ ද ඒ අතර සිටියහ. අද අපි හිත පහදවා ගන්නේ එසේ අරහත්වයට පත් වූ ශ්‍රේෂ්ඨ මුනිවරයෙක් ගැනයි. ඒ වනාහි ලක්දිව වැඩ විසූ මහානාග රහතන් වහන්සේ යි.
උන්වහන්සේ වැඩ වාසය කළේ රුහුණු දනව්ව සමීපයේ සේත පබ්බත නමැති පර්වතයේ නැමී ගිය තැනක පිහිටි කුස ලෙන නමින් ප්‍රකට ගුහාවක ය. පර්වතය අවට පිඬු පිණිස වැඩීම සඳහා ගම්මානයක් ළඟින් ම පිහිටා තිබුණේ ය. එක් දිනක් ගෙපිළිවෙළින් පිණ්ඩපාතය සඳහා වඩින විට අනුකම්පාවෙන් එක් පවුලක් කරා එළඹියේ ය. ඒ ගෙයි වාසය කරන උදවිය මහානාග තෙරුන්ගේ පාත්‍රය පුරවා සැමදා දන් දෙති. මෙසේ අවුරුදු දොළොසක් උන්වහන්සේට උපස්ථාන කළෝ ය. ඒ ගෙදර මවුපියන් දෙදෙනා වනයට යන්නාහු දුවට කථා කොට මෙසේ කීහ. “දියණියෙනි, ඇල් සහලෙන් බත් උයා, මස් මාළු ද පිළියෙල කොට ගිතෙල් වත්කොට තෙරුන් වහන්සේ වැඩිය පසු පාත්‍රයට දානය පූජා කරන්න. ඉතිරි දෙය කොස් හා මිශ්‍ර කොට නුඹ අනුභව කරව. අප විසින් හීල්බත් කන ලදී.
එබැවින් අපි ගැන නොසිතව.” යි පවසා දුප්පත් දෙමහල්ලෝ වනයට ගියහ. අඩු ආශා ඇති, සිල්වත් වූ මහානාග තෙරුන් ඒ නිවසට වඩින්නේ ඒ කථාව ඇසී මහත් වූ සංවේගයක් උපන්නේ ය. උණුසුම් වූ හදවත ඇති උන්වහන්සේ මෙසේ සිතී ය. ‘මොවුහු මාගේ මව්පියන් ද නොවෙති. නෑයෝ හෝ සහලේ නෑයෝ ද නොවෙති. ප්‍රණීත වූ යමක් ඇත්නම් එය මට දෙන්ට යැයි නියම කොට කර්කශ වූ, ගොරෝසු වූ, ඕජා නැති ආහාරය අනුභව කොට ඔවුහු ගියහ. මේ ආහාරය පෘථග්ජන මා විසින් නොවැළඳිය යුතු ය. රහත් භික්ෂුවක් විසින් එය අනුභව කළ යුතු ය.’ යැයි සිතා එතැනින් නැවතී තම ලෙනට හැරී ගියේ ය.
මනා සංවර ඇති, දැමුණු ඉඳුරන් ඇති, භාවනාවෙහි සූර වූ මහානාග තෙරුන් අස්නක් පනවා නොපසුබස්නා වීර්යයෙන් යුක්තව මෙසේ අධිෂ්ඨාන කළේ ය. ‘මාගේ මස්, නහර, ලේ, ඇට යන මේවා වියළෙත්වා! රහත් බවට නොපැමිණ මේ ආසනයෙන් නොනැගිටින්නෙමි’. මෙසේ අදිටන් කොට සිව් පිරිසිදු සිල් විමසා බලා සීල විශුද්ධිය ඇති බව දැක නුවණැති තෙරුන් වහන්සේ විදසුන් වඩා ෂඞ් අභිඥාලාභී උතුම් මහරහත් බවට පත් විය. සසරින් එතෙර වැඩි මහානාග රහතන් වහන්සේ මෙසේ සිංහනාද කළ සේක.
“ඉපදීමේ කෙළවර දක්නා වූ මම ඒකාන්තයෙන් ම නැවත ගැබෙහි ඉපදීමකට නොපැමිණෙන්නෙමි. මේ මාගේ අන්තිම වූ ඉපදීම යි. සසරෙහි මාගේ නැවත ඉපදීම ක්ෂය විය.”
මෙසේ සිංහනාද කොට තව කොපමණ ආයුෂ පවතී දැයි බලා ‘මධ්‍යහ්න කාලයෙහි පිරිනිවෙන්නෙමි’යි සිතා ගත්තේ ය. උන්වහන්සේගේ අදහස දැනගත් ලෙනට අරක් ගත් දේවතාවා අත් හිස මත තබා වැඳගෙන මෙසේ කීහ. “ස්වාමීනී, ඔබගේ උපස්ථායකයා දිළින්දෙකි. හෙතෙම අවුරුදු දොළොසක් මුළුල්ලේ උපස්ථාන කළේ ය. ඔබවහන්සේ ෂඞ් අභිඥාලාභී රහත්නමක් වූ සේක. එබැවින් ඔහුට අනුකම්පාවෙන් ඔහුගේ පිණ්ඩපාතය පිළිගත මැනව.” දේවතාවාගේ කීම ඇසූ හෙතෙම අස්නෙන් නැගිට පාත්‍ර සිවුරු රැගෙන එනිවසට වැඩියේ ය. තෙරුන් වහන්සේ දුටු ඒ දියණිය අස්නක් පනවා වන්දනා කළා ය. අසුනෙහි වැඩහුන් උන්වහන්සේ දියණිය අමතා “මව්පියෝ නොදක්නා ලැබෙත්. ඔවුහු කොහි ගියාහුදැ?” යි ඇසී ය. තෙරුන්ගේ වචන ඇසූ ඇය විස්මයට පැමිණ මෙසේ සිතී ය.
‘අද තෙරුන් වහන්සේගේ ප්‍රසන්න වූ මුහුණු ඇත්තේ ය. බොහෝ දහවල් වී වැඩියේ ය. අසුනෙහි හිඳ මවුපියෝ ගැන විචාරයි. පෙර නොවූ විරූ කරුණු හතරක් අද දක්නට ලැබේ. ඒකාන්තයෙන් ම තෙරුන් වහන්සේ රහත් බවට පැමිණියේ ය. වත් බිඳීම කොට තමන්ගේ ගුණයන් ප්‍රකාශ කිරීම නිසා තෙරුන්ගේ ජීවත් වීමක් නැත. එබැවින් උන්වහන්සේ පිරිනිවෙන්ට කැමැත්තේ ය.’ යි සිතා ඇය පහන් සිතින් මනා සේ තෙරුන්ට දන් දුන්නා ය. වළඳා නික්මුණු මහානාග රහතන් වහන්සේ පර්වතය කරා ගියහ. එහි දී පළඟ බැඳ හිඳගෙන ඉර මුදුන් වූ පසු මෙසේ අධිෂ්ඨාන කළහ.
‘යම් මිනිසෙක් මට අවුරුදු දොළොසක් උපස්ථාන කළේ නම් ඒ මිනිසා අවුත් ස්පර්ශ කළ විට මාගේ ශරීරය සෙලවේවා! අන්‍යයන් ඔසවන්නට උත්සාහ කළ විට. නොසැලේවා!’
මෙසේ අධිෂ්ඨාන කළ මහානාග රහතන් වහන්සේ තෙල් අවසන් වී නිවී යන පහනක් මෙන් පිරිනිවන් පෑහ.
දියණියගේ දෙමව්පියන් වනයෙන් ගෙනෙන ලද කපු සියල්ල ම රන් බවට පත් වුණේ ය. දේවතාවන්ගේ ශබ්දය ඇසූ සද්ධාතිස්ස රජතුමා අන්තඃපුරය සමඟ ගොස් මහජනයා පිරිවරන ලද්දේ සාධුකාර දී දේහය ඔසවන්නට තැත් කළේ ය. නමුත් සෙලවීමටවත් නොහැකි විය. එවිට රජතුමා උපස්ථාන කළේ කවුරුන්දැයි සොයා බලා කැඳවී ය. ඒ උපාසකයා පැමිණ “අහෝ මට නොදන්වා පිරිනිවියේ ය” යි කියමින් හඬා මෘත ශරීරය වැළඳ ගත්තේ ය.
එකෙණෙහි ම මෘත ශරීරය අහසට නැගුණි. අහසෙහි හුන් තෙරුන් වහන්සේ දැක බොහෝ දෙනා නමස්කාර කළහ. මහානාග රහතන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි දේහයෙන් ගිනි පිට වී එය දැල්වුනේ ය. එය දැක සතුටු සිතැති රජතෙමේ සාධුකාර දුන්නේ ය. ඒ උපාසකයාට බොහෝ ධනය දුන්නේ ය. ඔහුට නොයෙක් උසස් බඩු ද දී ඒ ගමත් දුන්නේ ය. ඔහුගේ දුවට ද සම්පත් දුන්නේ ය.
මෙසේ උපස්ථාන කරන්නවුන් දන් දුන් ආකාරය අසා සංවේගයට පත් වී අරහත්වයට පත් වූ උතුමන් වහන්සේලා එක නමක් නොව බොහෝ තෙරුන් වහන්සේලා ලංකාදීපයේ වැඩ වාසය කළෝ ය. දානය පූජා කළ උදවිය ද මහත් සැපතකට පත් වූහ. වැළඳූ උතුමෝ ද නිර්වාණ සැපතට පත් වූහ.
රහතන් වහන්සේලා යනු භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ ය. කෙලෙසුන්ගෙන් නිදහස් වූ නිකෙලෙස් සිත් ය උන්වහන්සේලාට තිබෙන්නේ. ලෝකය එළිය කරන්නේ ඒ ඥානවන්ත මුනිවරු විසිනුයි. මේ ලංකාදීපයේ වැඩ සිටි, බුදු සමිඳුන්ගේ අනුජාත පුත්‍රයෙක් වූ, ළයෙහි උපන් පුත්‍රයෙක් වූ, මහා වීර්යවන්තයෙක් වූ, ලෝකයාගේ පුද පූජාවන්ට සුදුස්සෙක් වූ, දන් පිළිගැනීමට සුදුසු වූ, දෙවි මිනිසුන්ට උතුම් පින්කෙතක් වූ මහානාග රහතන් වහන්සේට නමස්කාර වේවා…! 
උපුටා ගැනීම mahamegha 
0