• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

ප්‍රසිද්ධ වීමට අකමැති සුපිරි තරුව

ප්‍රසිද්ධ වීමට අකමැති සුපිරි තරුව
 ගොඩක් දෙනෙක් ආසකරන තරුවක් ගැන තමා මේ ලිපිය. අපේ හිතේ මැවෙන්නේ අමුතු රූපයක් සහ අමුතු හඬක්. ඒ තමයි මුහුණ වැසෙන තරම්  විශාල කොණ්ඩයකින් සැරසී සිටින ‘සියා‘.

සියාගේ ළමා කාලය 

දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ, 1975 දෙසැම්බර් 18 වන දින සියා කේට් ඉසබෙල් ෆර්ලර් නම් වූ දැරියක් උපත ලබනවා. ඇගේ මව චිත්‍ර ගුරුවරියක් වූ අතර පියා ගිටාර් වාදන ශිල්පියෙකු වුණා.  කුඩාකල සිටම ප්‍රසිද්ධ රංගන ශිල්පීන්, සංගීත කණ්ඩායම්, සහ සර්කස් ශිල්පීන් ඇසුරු කරමින් හැදී වැඩුණු සියා වයසින් වැඩෙත්ම තේරුම් ගත්තා තමන්ගේ ඉදිරි ගමනට වඩාත්ම සුදුසු වන්නේ සංගීත ක්ෂේත්‍රය බව. කෙසේ වුවත් සියා බලාපොරොත්තු නොවූ ලෙස ඇගේ ආදරණීය පවුල බිඳ වැටෙන්නට වුණා. පියා බීමට ඇබ්බැහි වීම නිසා සියාගේ දෙමව්පියන් අතර නිතරම රණ්ඩු සරුවල් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ මව පියාගෙන් වෙන් වුණා. කුඩා සියාට පිය සෙනෙහස අහිමි වන්නේ ඔහු ඔවුන්ගෙන් වෙන් වී සිඩ්නි නගරයේ පදිංචියට යාම නිසාවෙන්.

ගායිකාවක් ලෙස ජීවිතය ඇරඹීම 

වයස අවුරුදු 17 දී අවන් හලක සේවය කරමින් සිටි සියාට ඇගේ මිතුරෙකුගෙන් දැන ගන්නට ලැබුණේ ඇඩිලේඩ් නගරයේ එක්තරා සංගීත කණ්ඩායමක් ගායන ශිල්පියෙකු බඳවා ගැනීමට සොයන බව යි. තෝරාගැනීමේ පරීක්ෂණයට සහභාගී වන සියා එයින් සමත්ව කණ්ඩායමට බඳවාගනු ලැබෙනවා.
ඉන් වසර 4කට පමණ පසුව එම සංගීත කණ්ඩායම බෙදී වෙන්වීම නිසා 21 හැවිරිදි සියා තම පෙම්වතා සමග ලන්ඩන් බලා පිටත්වීමට සැලසුම් කරනවා. නමුත් ඉන් සති කිහිපයකට පසුව රිය අනතුරකින් ඉතා අවාසනාවන්ත ලෙස ඇයගේ පෙම්වතා මියයනවා. මේ සිද්ධිය නිසා දැඩි මානසික කම්පනයට පත් වන සියා බීමට ඇබ්බැහි වෙනවා. පෙම්වතාගේ මරණයෙන් දින කිහිපයකට පසුව ඔහුගේ මිතුරෙකගෙන් සියාට ලන්ඩන් බලා යෑම සදහා ටිකට්පතක් ලැබෙනවා. වසර 6ක් පමණ ලන්ඩන්හි තවත් ඕස්ට්‍රේලියානුවන් කිහිප දෙනෙකු සමග වාසය කරන සියා මේ කාලය තුළ ද තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව ජීවත් වෙනවා. 

sia aluthsl.com

දිනක්, උත්සවයක් සඳහා ගීත ගායනයට සියාගේ මිතුරෙකුගෙන් ඇයට ඇරයුමක් ලැබෙනවා. මේ ඇරයුම පිළිගන්නා සියාට, පසුකලෙක ඇයගේ පළමු කළමනාකරු බවට පත්වන තැනැත්තා සොයා ගැනීමට හැකි වෙනවා. ඔහු හරහා සංගීත ක්ෂේත්‍රයේ විවිධ චරිතයන් හඳුනාගන්නට සියාට අවස්ථාව ලැබෙන නමුත්, තම කළමනාකරු කොකේන් ජාවාරම්කරුවෙකු බව දැනගත් පසු සියා ඔහු තනතුරෙන් නෙරපා හරිනවා. 
කල්යත්ම 25 හැවිරිදි සියා සෝනි සමාගමේ Dance pool ලේබලය හරහා ඇයගේ පළමු ගීතය එළිදැක්වූ අතර, එය ඇමෙරිකානු ගීත දර්ශකයේ පළමු ගීත 10 අතරට ඇතුළත් වෙනවා. දෙවනුව තම මියගිය පෙම්වතා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන සියා, තම ගායන ජීවිතයේ විශාල පියවර තැබීම ආරම්භ කරන්නේ ඒ සමග යි. සියාට ආවේණික වූ දක්ෂතා නිසා Zero 7 නම් වූ සංගීත ශිල්පීන් ඔවුන් සමග සංගීත ඇල්බම කිහිපයක් නිර්මාණය කිරීමට සියාට ආරාධනා කරනවා. සියාගේ ගීත ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන් වැළඳගත් අතර ඇය විසින් ගායනා කළ Breath me ගීතය ඉතා ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වූ Six feet under කතා මාලාවට ද යොදාගැනුනා. 

ගායනයෙන් ඉවත් වීම

ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යද්දී, අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා ලොව වටා සංචාරය කිරීමට සියාට අවස්ථාව ලැබුණා. සාර්ථක වසර 13කට පමණ පසුව වෙහෙසකර සංචාර, අක්‍රමවත් නින්ද, සහ තනිකම නිසා සියාට දරාගත නොහැකි තරම් බරක් ඇගේ හිස මත පැටවුණා. ප්‍රසිද්ධිය සමග පැටවුණු මේ ප්‍රශ්න සියාව විෂාදයෙන් පීඩා විඳින්නියක බවට පත් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සියා නැවත මත්ද්‍රව්‍ය වෙත හුරුවුණා. සියා මේ අතරේ තමන්ගේ මානසික රෝගයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලැබීමට ද යොමු වුණු නමුත් තම ජීවිතයෙන් සමු ගැනීමට ඇයට තදින්ම අවශ්‍ය වුණා. 
වයස අවු.35 දී පමණ මත්ද්‍රව්‍ය අලෙවිකරුවෙකුගෙන් විශාල ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය ඇණවුම් කරන සියා සුදුසු අවස්ථාව පැමිණෙන තෙක් ඒවා සඟවා තබනවා. මාස 4කට පමණ පසුව තම ජීවිතය අවසන් කිරීමට සුදුසු කාලය එළඹුණායැ යි තීරණය කරන සියා සියලු දෙනාට රහසක් වන ලෙස කුඩා තානායමක දී අධික ලෙස මත්ද්‍රව්‍ය ශරීරකර ගැනීමෙන් සියදිවි නසා ගැනීමට තීරණය කරනවා. නමුත් හදිසියේම සියාගේ මිතුරෙකගෙන් එන දුරකථන ඇමතුමක් නිසා සියදිවි නසා ගැනීමේ සැලසුම අවලංගු කරන ඇය මත්ද්‍රව්‍ය සියල්ල ද විනාශ කර දමනවා. 

නැවතත් ප්‍රේක්ෂකයන් අතරට 

මේ වෙද්දී සියා ප්‍රසිද්ධියෙන් හෙම්බත්ව සිටින බව දැනගත් ඇයගේ නව  කළමනාකරු, ගීත රචනයට යොමු වන ලෙස සියාට යෝජනා කරනවා. මුල දී සියා මෙම යෝජනාවට අකමැති වුවත්, පසුව තම ජීවිත අත්දැකීම් පාදක කරගෙන ගීත රචනා කිරීමට යොමුවෙනවා. මේ නිසා තම මානසික ආතතියෙන් ක්‍රමයෙන් මිදෙන ඇය රිහානා, බියොන්සෙ, බ්‍රිට්නි ස්පියර්ස්, මැඩෝනා, සහ සෙලින් ඩියොන් ආදී තරු රැසකට ගීත රචනයෙන් සියා දායකත්වය දෙනවා. සියා, රිහානාගේ Diamonds ගීතය විනාඩි 14කින් ද, ඩේවිඩ් ගෙටාගේ Titanium ගීතය විනාඩි 40 කින් ද රචනා කළ බව කියවෙනවා. 
වසර කිහිපයකට පසුව සියා ඇගේ ඇල්බමය වන 1000 forms of fear සමග ප්‍රේක්ෂකයන් අතරට පැමිණි අතර, එහි තිබූ Chandelier සහ Elastic heart යන ගීත විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. මේ නිසා සියාගේ ප්‍රේක්ෂකයන් නැවතත් ඇයගේ හඬ ඇසීමේ  බලාපොරොත්තුවෙන් සිටියා. මාධ්‍යවේදීන්ගෙන් සහ අනවශ්‍ය ප්‍රසිද්ධියෙන් ආරක්ෂා වීමේ අරමුණින් සියා කැමරාවලට මුහුණ දුන්නේ මුහුණ ආවරණය වන තරම් විශාල බොරු කොණ්ඩයකින් සැරසෙමින්. එසේම සියාගේ ගීත වීඩියෝවල බොහෝවිට ඇය මුහුණ ආවරණය කරගෙන සිටින අතර, ප්‍රසංගයන්හි දී ද මුහුණ සඟවාගන්නට අමතක කරන්නේ නැහැ. සියාගේ ප්‍රසිද්ධියට අකමැති වීමේ හේතුව නිසාම ඇයගේ ප්‍රසිද්ධිය තවත් වැඩිවුණා. ඇගේ Cheap thrills, The greatest, Alive සහ Unstoppable යන ගීත නිර්මාණය වී වසර කිහිපයක් ගත වුවත් ඒවායේ ජනප්‍රියත්වයේ අඩුවක් තවම නම් දකින්නට බැහැ. 
සියාගේ දක්ෂතාවන් ඇගයීමට ලක් වූ අවස්ථා ද බොහොමයි. 2014, 2016, සහ 2017 වර්ෂවල දී ‘හොඳම ගායිකාව’ යන අංශය යටතේ Australian Recording Industry Association පිරිනමන සංගීත සම්මානය දිනාගත් සියා, 2015 දී YouTube සංගීත සම්මානය ද, 2015 දී Australian Performing Rights Association මඟින් පිරිනමන හොඳම ගීත රචකයාට හිමි සම්මානය ද, Chandelier ගීතය වෙනුවෙන් වසරේ ගීතය සඳහා පිදෙන සම්මානය ද හිමි කර ගන්නවා. එසේම සියා කිහිප අවස්ථාවකම ග්‍රැමී සම්මානය සඳහා ද නිර්දේශ වෙනවා.
එදා සියාගේ දිවිනසා ගැනීමේ සැලසුම සාර්ථක වූයේ නම් පොප් සංගීත ක්ෂේත්‍රයේ කිසිදු ආකාරයකින් සම්පූර්ණ කළ නොහැකි විශාල හිඩැසක් ඇති වන්නට තිබුනා. ඇගේ ජීවිත කතාවෙන් අපට උගත හැකි පාඩම් බොහොම යි.
උපුටා ගැනීම –  roar.media

Related Articles